hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 05, පෙ.ව. 12:01



මාසික වැටුපකට රැකියාවේ යෙදෙන බවට පවසමින් සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ තරුණියන් පස් දෙනකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ පැය 50ක් ප්‍රජා සේවයේ නියැලෙන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළා.

නීත්‍යනුකූල බලපත්‍රයක් හිමි ආයුර්වේද වෛද්‍යවරයකු නොමැතිව එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කළමනාකරුට ද පැය 150ක් අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදෙන ලෙස නියම කෙරුණා.

ජීවිතයකට අන්තරාදායක වූ රෝග පැතිරිය හැකි බව දැන දැනම, නිසි පුහුණුවකින් තොරව, ආයුර්වේද වෛද්‍යවරයකු නොමැති මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී සැකකාරියන් 5 දෙනා සහ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කළමනාකරු මිනුවන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදී සඳහන් වුණා.

මිනුවන්ගොඩ පොලීසිය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකාරියන් පස් දෙනා සහ සැකකරු චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණ භූමියේ මෙසේ ප්‍රජා සේවයේ යෙදෙන ලෙසට අධිකරණයෙන් නියම කෙරුණා.

අධිකරණ ප්‍රජා විශෝධන නිලධාරි හමුවේ ප්‍රජා සේවයේ යෙදී ප්‍රජා සේවය අවසන් කොට ඔක්තෝබර් මස 25 වැනි දිනට නැවත විවෘත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකාරියන් 5 දෙනාට සහ සැකකරුට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණා.

නියම කරන ලද ප්‍රජා සේවය නිම වන තුරු සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත ද සැකකාරියන් පස් දෙනාගෙන් එක් සැකකාරියක්ව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ද මුදාහැරුණා.

යාය 10 පදවිය, පරාක්‍රමපුර පදවිය, උස්වැටකෙයියාව, රාගම සහ බෝමිරිය යන ප්‍රදේශවල ස්ථිර පදිංචි සැකකාරියන් පස් දෙනාට සහ ජාඇල කණුවන පදිංචි කළමනාකරු ලෙස කටයුතු කළ සැකකරුට මෙසේ ඇප නියම කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: