hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:47



බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වානිජ මණ්ඩලයෙන් “ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකක් දිනා ගත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය, කාළය, ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගැයීමට ලක් කරමින් මෙම සම්මාන ලබා දී ඇති බව පුෂ්පා රම්‍යා මෙනෙවිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජින  එදා ප්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ඇගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්‍රදානය කිරීමෙන් පසුව , ලෝකයේ  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් තමන්ට  මෙසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන්  සම්මානයක් හිමි වී තිබීම විශේෂත්වයක්  බව ද පුෂ්පා රම්‍යා මෙනෙවිය ප්‍රකාශ කළා.

එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ හෙද සේවය ගැන සිය අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙද නිලධාරීන් 75,000 ක් අවශ්‍ය වුවද දැනට සිටින්නේ 38,000 ක් වැනි ප්‍රමාණයක් බව ද පැවසුවා.

මේ නිසා රෝහල් වෙත පිවිසෙන රෝගීන්ට පූර්ණ හෙද සත්කාරයක් කිරීමට තමන්ට අවකාශයක් නොමැති බව ද ප්‍රකාශ ඇය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් පමණක් නොව හෙද නිලධාරීන් ද ඇමෙරිකාව බ්‍රිතාන්‍යය  ඇතුළු බටහිර රටවල සේවය සදහා විශාල වශයෙන් ඇදී ගොස් ඇති බව ද හෙළි කළා.

මීට වසර කීපයකට පෙර එකවර හෙද සේවය සදහා 5,000 ක පිරිසක් බදවා ගත් බවත් , ඔවුන් ඉදිරි වසර වලදී විශ්‍රාම ගැනීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ හෙද සේවයට මේ නිසා එකවර 5,000 ක පිරිසක් අහිමි වී යාමට නියමිතව ඇති බැවින් ශ්‍රී ලංකාවේ හෙද සේවය ද සීඝ්‍ර කඩා වැටීමකට ලක් විය හැකි බව ද ප්‍රකාශ කළා.

පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය අද (22) උදෑසන 08.45 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් සහ ඇයගේ සහෝදර හෙද නිලධාරීන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: