hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 18, පෙ.ව. 5:07



පාසල් සිසුන් තුන්දෙනෙකු විසින් හෙල්මට්වලින් පහරදීමෙන් පසු ඝාතනයට ලක්වූ 34 හැවිරිදි එක්දරු පියාගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.

ඒ වැලිපැන්න – ගල්මත්ත , කුරුදිප්පිට පොදු සුසාන භූමියේදීයි.

පසුගිය 14 වනදා රාත්‍රියේ උපකාරක පන්ති අවසන්ව හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් ගමන්ගනිමින් සිටි , 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් තුන්දෙනෙකුට හෙල්මට් පළදින ලෙස ලබාදුන් උපදෙසකට කෝපයට පත් එම සිසුන් අදාළ එක්දරු පියාට පහරදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වුණේ.

එදිනම රාත්‍රියේ සැකකාර සිසුන් තුන්දෙනා වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ලබන 28 වනදා දක්වා මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගැණුනා.

දැනට සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතී දියණියක් සහ සැකකාර සිසුන් තුන්දෙනාගෙන් එක් අයෙකු අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවයි.

එම සිසුන් නිරන්තරයෙන් ඇය බැලීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පදිංචි ප්‍රදේශයට යන බවත්, ඝාතනය සිදුවූ දිනද ඔවුන් උපකාරක පන්ති අවසන්ව එම ප්‍රදේශයට ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

මියගිය පුද්ගලයා එසේ ගොස් ආපසු යමින් සිටි සිසුන් තිදෙනා ලුහුබැඳ පැමිණි බවටද පොලිසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා. හෙල්මට්වලින් සිදුවූ පහරදීම් මාරාන්තික නොවන බවයි එහි දක්වා ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: