hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 03, ප.ව. 6:30



බදුල්ලේ ප්‍රසිද්ධ පාසල් දෙකක් වන ඌව මහා විද්‍යාලය හා ධර්මදූත මහා විද්‍යාලය අතර පැවැති වාර්ෂික ක්‍රිකට් තරගයෙන් අනතුරුව ළමයින් විසින් පැදවූ බව කියන මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් මියගිය හාලිඇළ මධ්‍යම පන්තික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හරේන්ද්‍ර රුක්මාල් දරුවාගේ මරණය විදුහල්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවූ බවත් ගුරුවරුන්, අධ්‍යාපන බලධාරීන් හා පොලිසිය වගකීමකින් යුතුව කටයුතු කර තිබුණේ නම් මෙවන් මරණ සිදු නොවනු ඇති බවත් දරුවාගේ ඥාතීහු පවසනවා.

මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මරුමුවට පත් හරේන්ද්‍ර රුක්මාල් ශිෂ්‍යයා බ/ධර්මදූත මහ විදුහලේ 13 වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. අනෙක් සිසුවා අංක 79/366, රඹුක්අරාව, හෑගොඩ, එම 13 වසරේ (වාණිජ) ඉගෙනුම ලැබූ රවිදු ලක්ෂාන් ජයතිලක සිසුවායි.

හරේන්ද්‍ර රුක්මාල් ශිෂ්‍යයාගේ මව සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකිව කතා කර ගැනීමට පවා හැකියාවක් නැතිව පසුවෙද්දී ඇගේ වැඩිමල් සොයුරියක් (දරුවාගේ ලොකුඅම්මා) පැවසුවේ පෙරේදා (01) උදේ උපකාරක පන්තියකට යෑමට නිවෙසින් පිටවූ දරුවා මෙසේ නොසිතූ උවදුරකට පත්වූ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසුවා.

”රුක්මාල් පුතා එදා උදේ ගෙදරින් ගියේ පන්තියකට යන්න. ඒත් පන්තිය කලින් ඉවර වෙලා පුතා බිග්මැච් තිබුණු තැනට ගිහින්. සමහර විට යාළුවෝ කතා කළාද දන්නෑ. පස්සේ කෝල් එකක් ආවා පුතා ඇක්සිඩන්ට් වුණා කියලා. මුලින් අපි හිතුවේ අප්‍රේල් පළවැනිදා නිසා කවුරු හරි බොරුවක් කියනවා කියලයි. ඒත් ඇත්තටම මේ කිසිදු වගකිවයුත්තකුගේ සැලකිල්ලක් නැතිව සිද්ධ වුණු දෙයින් අපට අපේ දරුවා නැති වුණා.

මේ ළමයා පවුලේ එකම දරුවා. එයාගේ අම්මයි තාත්තයි එක්ක පදිංචි වෙලා හිටියේ වෙනත් ප්‍රදේශයක. ඒ ගෙවල් දොරවල් වහල දාල කුලියට ගෙයක් අරන් මෙහෙට ඇවිත් හිටියෙ දරුවාගෙ අධ්‍යාපනය නිසාමයි. ඒත් දැන් සේරම ඉවරයි. මොනවා තිබුණත් ඒ මවුපියන්ට තිබුණු ලොකුම සම්පත දැන් නැති වෙලා.

මේ සිද්ධිය ගැන පාසලේ විදුහල්පති කියනවා තමන් මෙහෙම දේකට අවසර දුන්නේ නෑ ළමයි මෙහෙම පෙළපාළි යනකොට පොලිසියට කීවා කියලා. ඒත් පොලිසිය කියනවා ඒ ගැන පොලිසිය දැනුවත් කළේ නෑ කියලා. අපි ඒ ගැන හරියට දන්නේ නෑ. ඒත් කිසිම අවසරයක් නැතිව ළමයි ඔහොම සෆාරි වාහනේක මහ පාරේ යයිද? ආදි ශිෂ්‍යයන්ටත් වගකීමක් තිබෙනවා. මේ වගේ වාහනයක් දරුවන්ට දුන්න තාත්තා ඒ ගැන හිතන්න තිබුණා. එහෙම නැති නම් පාසල් දරුවන් මෙහෙම වාහන ගේනකොට විදුහල්පති, ගුරුවරු ඒ ගැන හිතන්න තිබුණා. මේ වගේ වාහනයක දරුවෝ විස්සක් තිහක් නැඟලා අනාරක්ෂිතව යනකොට ඔවුන්ට අවවාදයක් දීලා බස්සන්න තරම් එක වැඩිහිටියෙක්වත් පාසලේ හිටියේ නැද්ද? ඉදිරියටවත් මෙහෙම දේවල් නොවෙන්න සියලු බලධාරීන් සැලකිලිමත් වෙන්න ඕනෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: