hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 11, ප.ව. 5:01



කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුවෙකු වෙනුවෙන් එම විදුහල කළ කැපකිරීම් පිලිබඳව ෆේස්බුක් ඔස්සේ හරි හරියට කතා වෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළත් ගොඩක් දෙනෙක් කතා කළා.

මේ අපි කතා කරන මොහොතේ ඒ දරුවාගේ සහෝදරයා සිය ජිවන ගමන නිම කොට අවසන්.

ඒ කෙසේ වෙටත් තර්ස්ටන් විදුහලේ විදුහල්පති ඇතුළු පිරිස එම දරුවා වෙනුවෙන් කළ කැප කිරීම ගැන මුහුණුපොතේ හරි අපූරු සටහනක් හුවමරු වෙනවා.

එම සටහන පහතින්,

සහකම්පනය කියන්නේ මොනවගේ දෙයක්ද?
කෙනෙක්ගේ දුකකදී, කරදරයකදී අනේ පව් කීම විතරක්ම නෙවෙයි.

එතනින් එහාට යන හැඟීමක්.තමන්ට ලේ බැ ඳීමක් තියන කෙනෙක්ට නම් සහකම්පනය කොහොමත් තියනවා.

එහෙම බැඳීමක් නැතුවත් තියෙන්න පුළුවන් ද? ඔව් පුළුවන්….

තර්ස්ටන් විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය දරුවන් ගැන පෞද්ගලිකවම හොයන බලන පිරිසක්..ළමයි හාරපන්දහසක් අස්සේ ඒ වැඩේ කරන්න පුළුවන්ද?

ඔව්…පුළුවන්.

9 වසරේ ඉගෙනගත්ත “රන්දිය” ගැනයි මේ කතාව.

රන්දිය කාගෙත් ආදරය දිනාගත් දක්ෂ දරුවෙක්.

අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කාලෙම රන්දිය මුළු වාට්ටුවම තමන්ගේ වසඟයට ගත් දරුවෙක්.

ඔහුට වෛද්‍යවරු,හෙදියන් ඇතුළු හැමෝම ආදරේ කළා.රන්දිය පාට කඩදාසිවලින් කරපු ලස්සන ලස්සන නිර්මාණවලින් මුළු වාට්ටුවම හැඩවෙලා තිබ්බා.

ඉස්කෝලෙන් රන්දියට ඈත්වෙලා ඉන්න සිද්ධවුණත් විදුහල්පතිතුමා සහ ගුරුවරු රන්දියව තනිකළේ නෑ.

නිතරම රෝහලට ගියා..හොයලා බැලුවා.

වාට්ටුවෙදි රන්දියට බත් කවන්නෙත් පන්තිභාර ගුරුතුමී.

රන්දියව බලන්න යන එක අවස්ථාවක විදුහල්පති තුමා රන්දියගෙන් අහනවා, “පුතේ..මට මොනවද පුතා වෙනුවෙන් කරන්න පුළුවන්?” කියලා.

“සර්…මට තව ටික දවසකින් පස්සේ ඉස්කෝලේ එන්න බැරිවෙන්න පුළුවන්…මගේ මල්ලි යන්නේ ගමේ පුංචි ඉස්කෝලෙකට.සර් ට පුළුවන්ද මල්ලිව තර්ස්ටන් එකට ගන්න.මං හරි ආසයි එයා තර්ස්ටන් එනවා දකින්න.”

ඉන් ටික දවසකට පස්සේ රන්දියගේ ඉල්ලීම ඉටුවෙනවා..

මල්ලි තර්ස්ටන් එනවා බලන්න ආසයි කිව්ව රන්දිය ම තමයි මල්ලිව ඉස්කෝලෙට එක්කගෙන එන්නෙත්.

ප්‍රතිකාර අතරේ ඉස්කෝලෙට එන රන්දිය ව පිළිගන්න එදා ඉස්කෝලෙ උත්සවයකුත් සංවිධාන කරලා.

හිතන්නකො… දරුවෙක්ගෙ අන්තිම කැමැත්ත ඉටු කරන ගමන් එයාව සතුටු කරන්න පුංචි උත්සවයකුත් ඉස්කෝලෙ.

පහුගිය දවසක ඉස්කෝලෙ තිබ්බ චිත්‍ර තරගෙන් රන්දියගේ මල්ලි දිනලා..
සහතිකේ අරන් සතුටින් එළියට ආව පැංචා ව අල්ලගෙන ෆොටෝ එකකුත් ගත්තා මම.

වෛද්‍ය විනිශ්චයට අභියෝග කරන්න බැරිම තැන රන්දිය එයාගේ ජීවිතය ගැන අපේක්ෂාව අත්හැරියා..

 පහුගිය පෙබරවාරි 05 වැනිදා රන්දිය යන්නම ගියා.

අයියාගේ මතක එක්ක දැන් ඉස්කෝලෙ ඉන්නෙ මල්ලි.

එයා දවසක රන්දියගේ අපේක්ෂාව ඉටු කරයි.

රන්දිය හදලා දීපු කඩදාසි නිර්මාණය තාමත් විදුහල්පතිතුමාගේ මෙසේ උඩ.

“මේක පුළුවන්තරම් කල් මම මෙතනින් තියාගන්නවා’මේසෙන් අයින්කරන්නේ නෑ” රන්දිය ගැන කියද්දි සර් කිව්වෙ එහෙම.

එක් දරුවෙක් වෙනුවෙන් මේ තරම් කැපවෙන්න,ආදරය දෙන්න ඉස්කෝලෙකට පුළුවන්ද?

ඔව් පුළුවන්..

තර්ස්ටන් කියන්නේ “කොළඹ හතේ ඉස්කෝලයක්” විතරක්ම නෙවෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: