hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 16, පෙ.ව. 9:37



කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නි‍වසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා දෙන ලෙස ප්‍රකට ටෙලි නාට්‍ය නිළි රුචිනි ටනාෂා හතරසිංහට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය කරුණාව නොදක්වා අකාරුණිකව, අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක්ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙස එම නිළියට නියෝග කළා.

හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පිනියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමේදී ගරු සරුවක් නොමැතිව කතා කර ඇති බව දිසා විනිසුරුවරිය සිය තීන්දුව මඟින් පෙන්වා දී ඇත. ආදරය, කරුණාව දක්වා කෘතඥපූර්වකව රැක බලා ගැනීම වෙනුවට අකාරුණිකව, ගුණමකුව හා අකෘතඥතාවෙන් සැලකීම පැමිණිල්ල මඟින් මනාව ඔප්පු කර ඇති බවට ප්‍රකාශ කරමින් මෙම තීන්දුව නිකුත් කළා.

මිත්තණිය 2016 වසරේ දී මෙම නඩුව පවරා ඇති අතර නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වා තිබෙනවා.

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දැරියන් සමඟ ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුලුඳුල් මිණිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ දේපළ පවරා දී තිබෙනවා.

දේපළ පවරා දීමට පෙර මිත්තණිය සමඟ කුලුපගව සිට ඇති විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නි‍වසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බවත්, ඉන්පසුව මිත්තණිය සිටී ද, නො සිටී ද යන්න පවා සොයා බැලීමට කාරුණික වී නොමැති බවත් පැවසූ නීතිඥවරයා අඩුම තරමේ දුරකතන ඇමතුමක් හෝ ලබා දී නොමැති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.

‘‘ආච්චි හෘද රෝගයෙන් පෙළෙන බව දන්නෙ නෑ. රෝගයකින් පෙළෙන බවට ආච්චි කිවුවා නම් හරි, අවශ්‍ය නම් ඇයට ප්‍රතිකාර ගන්න මුදලක් දෙන්න පුළුවන්, මේ නඩුව දානකම් ආච්චිව දැක්කෙ හෝ හමු වුණේ නෑ’’ විත්තිකාරිය සාක්ෂි දෙමින් සඳහන් කර තිබෙනවා.

දෙපාර්ශ්වයේ සාක්ෂි හා කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බවත්, විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කළා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා සමඟ නීතිඥ එස්. ජනගන් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා මහතා පෙනී සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: