hit counter

2026 ඔක්‍තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:20



“චුට්ටක් චුට්ටක්…”


ඒ හඬ ඇහෙන්නේ ශ්‍රී ලංකාවේ වේදිකාවකින් නම් පුදුමයක් නෙවෙයි.

හැබැයි මේ පාර ඒ හඬට එක්වුණේ ඉන්දියාවේ දහස් ගණනක් වූ රසිකයන්..

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකා යොහානි ඉන්දියාවේ Arunachal Pradesh ප්‍රාන්තයේ Ziro Valley හි පැවති Ziro Festival of Music 2026 සඳහා එක්වෙමින් සිංහල භාෂාව ප්‍රධාන කරගත් අපූරු සංගීත ප්‍රසංගයක් පවත්වා තිබෙනවා.

විශේෂත්වය වුණේ වෙනත් රටක පැවති ජාත්‍යන්තර සංගීත උළෙලකදී සිංහල ගීත ගායනා කරද්දී විදේශීය රසිකයන් ඒ ගීත සමඟ එක්ව ගායනා කිරීමයි.

යොහානිගේ ජනප්‍රිය “චුට්ටක් චුට්ටක්” ගීතය ගායනා කරන අවස්ථාවේදී රසිකයන් ඇය සමඟ එකතු වී ගීතයේ පද ගායනා කර තිබෙනවා.

ඒ මොහොතේ වේදිකාවේ පිටුපස දැවැන්ත තිරයේ ශ්‍රී ලංකා ජාතික ධජයත් දිස්ව තිබීම තවත් විශේෂ සිදුවීමක්.

ප්‍රසංගය අවසන් වෙන්න ළං වෙද්දී රසිකයන්ගෙන් ඇසුණු තවත් අපූරු හඬක්…

“ආදරෙයි… ආදරෙයි…”

යොහානිගේ දෙවැනි ඇල්බමයේ නම වන “Aadarei” යන වචනය රසිකයන් එක හඬින් කියමින් ඇයව දිරිමත් කර තිබෙනවා.

වසර කිහිපයකට පෙර “මැණිකේ මගේ හිතේ” හරහා ලෝකයේම අවධානය දිනාගත් යොහානි, මේ වන විට තමන්ගේම නිර්මාණ සමඟ ජාත්‍යන්තර වේදිකාවලට ගමන් කරමින් සිටිනවා.

Kella, Aadarei සහ Sadde වැනි නිර්මාණ හරහා ඇය සිංහල සංගීතයත් එක්කම තමන්ගේ ජාත්‍යන්තර ගමන ඉදිරියට ගෙන යනවා.

යොහානි පසුව මෙම අත්දැකීම ගැන සඳහන් කරමින් කියා තිබුණේ, තමන්ගේ භාෂාව කතා නොකරන දහස් ගණනක් දෙනා තමන්ගේ ගීතයක් ගායනා කරනු ඇසීම තම වෘත්තීය ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වූ බවයි.

ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන්, ශ්‍රී ලංකා ධජය ඉදිරියේ, සිංහලෙන් ගී ගයද්දී ලෝකයේ රසිකයන් ඒ සමඟ ගායනා කළ බව ඇය පවසනවා.

Ziro Festival of Music කියන්නේ විවිධ රටවල සංගීත ශිල්පීන් සහ රසිකයන් එකට එක්වන ජාත්‍යන්තර සංගීත උළෙලක්.

මෙවර උළෙලේදී රටවල් 10කට වැඩි ප්‍රමාණයකින් කලාකරුවන් 41 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර, ඒ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොහානිගේ සහභාගීත්වයද විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.

භාෂාව වෙනස් වුණත් සංගීතයට සීමා නැහැ කියන එක තවත් වරක් පෙන්වූ රාත්‍රියක්…

ශ්‍රී ලංකාවේ සිංහල ගීයක්…

ඉන්දියාවේ දුර ඈත නිම්නයක…

රටවල් ගණනාවකින් පැමිණි රසිකයන් දහස් ගණනක් එක්ක…

මේක නම් ශ්‍රී ලංකාවේ සංගීතයටම ආඩම්බර වෙන්න පුළුවන් මොහොතක්.

යොහානිගේ මේ අපූරු ප්‍රසංගය ගැන ඔබට මොකද හිතෙන්නේ? 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: