hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 7:25



මාසිකව මෙරට බිත්තර මිලියන 1.5ක් මාලදිවයින්ට අපනයනය කරන බවත් ලබන වසරේදී තවත් රටවල් හතරකට මෙරටින් බිත්තර හා කුකුළු මස් අපනයනය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වනවිට මව් සතුන් අවශ්‍යය සංඛ්‍යාව මෙන්ම රක්කන බිත්තර ප්‍රමාණය ද ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බැවින් ලබන ජනවාරියේ සිට බිත්තර නිෂ්පාදනය වැඩි වී මෙරට බිත්තර මිල පහළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා කියා සිටියා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික පර්යේෂණ සමුළුව ගන්නෝරුව පැලෑටි හා ජාන පර්යේෂණ මධ්‍යස්ථානයේදී විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

දැනට සිදුකර තිබෙන ගණනය කිරීමේ අනුව ලබන  වසරේ අගෝස්තු මාසයේ වනවිට මෙරට  බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක්  අපේක්ෂා කළ හැකි බවත් එම බිත්තර අපනයනය කිරීම සඳහා සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් හෙතෙම අවධාරණය කළා.

නත්තල් සමයේ බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යන බැවින් දෙසැම්බර් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් ඉන් පසු බිත්තර ගෙන්වීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් අමරවීර මහතා කියා සිටියා.

මෙරට බිත්තර හිඟයක් පවතිත්දීත් මාලදිවයිනට මාසිකව බිත්තර මිලියන 1.5 ක් අපනයනය කිරීමට පියවර ගත්තේ එම ඇනවුම වෙනත් රටකට යා නොදී ආරක්ෂා කර ගැනීමට බව ද ඇමැතිවරයා පැවසුවා.

මේ වනවිට කුකුළු මස් මිල රුපියල් 200 කින් පමණ පහත බැස තිබෙන බවත් ලබන වසරේ දී මෙම මිල තවත් පහතට පැමිණෙනු ඇති බවත් කී ඒ මහතා කුරුලු උණ රෝගයෙන් හා නිපා වෛරසය තොර රටක් නිසා විදේශ වෙළෙඳ පොල තුළ කුකුළු මස් හා බිත්තර  සඳහා  ශ්‍රී  ලංකාවට වඩා හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙන බැවින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට දැන් සිටම සැළසුම් සකස් කළ යුතුව ඇතැයිද අවධාරණය කළා. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව 22 හා 23 දෙදින පැවති අතර කෘෂි ක්ෂේත්‍රය උදෙසා විශිෂ්ට මෙහෙවරක නියැලුණු විද්වතුන් ඇගයීමද මෙහිදී සිදු වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: