hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මාර්තු 15, ප.ව. 2:48



දිනෙන් දින ඉහළ යන කඩදාසි මිල සහ අමුද්‍රව්‍ය හිඟතාවය හේතුවෙන් මෙරට මුද්‍රණ කර්මාන්ත කරුවන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

මෙම තත්ත්වයට වහා විසඳුමක් ලබාදෙන ලෙස බල කරමින් මුද්‍රණකරුවන් පසුගියදා විරෝධතාවයක්ද පැවැත්වූවා.

මේ වාතාවරණය තුළ තම මුද්‍රණායතන වසා දැමීමට සිදු වන තත්වයක් උද්ගතව ඇතැයි කුඩා පරිමාණ මුද්‍රණ කරුවන් පවසනවා.

මතුව ඇති තත්වය හමුවේ ඇතැම් සති අන්ත ජාතික පුවත්පත්වල මිල ගණන්ද ඉකුත් සතියේ ඉහළ නැංවූවා.

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසන්නේ ඉදිරියේදි පොත් වල මිල ගණන් ඉහළ නැංවීමට සිදුවිය හැකි බවයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සමන්ත ඉන්දීවර මහතා,

“දිනපතා මිල වැඩිවීමක් සිදුවෙන්න බැහැනේ ප්‍රායෝගිකව. දැන් සිද්ධ වෙන්නේ දිනපතා මිල ඉහළ යෑමක්. සමහරු කූඨ වෙළෙඳුන් අතේ තියෙන තොග සදහා දිනෙන් දින මිල ඉහළ දානවා. අපි කලින් ඉල්ලිමක් කලා රාජ්‍ය අංශයේ කඩදාසි සංස්ථාව හරහා හෝ යම් තැනකින් අපට අවශ්‍ය කොළ ප්‍රමාණය ලබා දෙන්න කියලා සහනදායී මිලකට. ඒකට සාධනීය පිළිතුරක් ලැබුණේ නැත්නම් ඉදිරියේදී පොත්වල මිල අද තියෙන මිල වගේ දෙගුණයක් වැඩි වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා. මේ තත්ත්වය පැවතුණහොත් ඒකේ බර දරාගන්න වෙන්නේ පොදු පාඨකයාට.”

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් ඡායා පිටපත් ලබාගැනීම සඳහා යොදාගන්නා කඩදාසි ආනයනය කිරීමට නොහැකි වීමෙන් දඩි හිඟයක් ඇතිවීමෙන් එම කඩදාසි බණ්ඩලයක් සියයට 150 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඡායා පිටපත් කඩදාසි නොමැතිවීමෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතුවලට බාධා ඇති වී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් ලිපි ලේඛණ කටයුතු ඇනහිට ඇති බව ද වාර්තා වෙනවා.

රුපියල් 500 ත් 600 ත් අතර මිලක පැවැති ඡායා පිටපත් කඩදාසි බණ්ඩලයක් මේ වන විට රුපියල් 1200ත් 1500ත් අතර මිලකට අළෙවි වන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.