hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 2:02



ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ඇති පිළිකා විකිරණ යන්ත්‍රය (කොබෝල්ට්) කැඩී ඇති බවත් මේ නිසා විකිරණ ප්‍රතිකාර ගතයුතු පිළිකා රෝගින් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බව සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රවි කලංසුරිය මහතා ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරිමට මේ දක්වා කටයුතු කර නොමැති බවත් මේ පිළිබඳව රෝහල් බලධාරින් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර ඇතත් ඒ සදහා විසඳුමක් ලැබී නොමැති බවද ඔහු පවසනවා.

මේ වනවිට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට අමතරව ඇතැම් රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා අවශ්‍ය යන්ත්‍ර කැඩි ඇති අතර එම යන්ත්‍ර අලුත්වැඩියා කිරිමට ක්‍රමයක් නොමැතිව පවතින බවද රවි කලංසුරිය මහතා සදහන් කළා.

ඔහු තවදුරටත් පැවසුවේ දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිළිකා රෝගින්ට විකිරණ ප්‍රතිකාර කිරීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරන නමුත් අද එම රෝගින්ට ප්‍රතිකාර ලබාදෙන්න බැරිවී තිබෙන බවයි.

දිනකට අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිළිකා රෝගින් 30 දෙනෙකුට පමණ මෙම යන්ත්‍රය මගින් විකිරණ ප්‍රතිකාර ලබාදෙන අතර දකුණු පළාතේ පමණක් නොව බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල පිළිකා රෝගින්ද විකිරණ ප්‍රතිකාර ගැනිම සදහා යොමුවන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට බවයි වාර්තා වෙන්නේ.

“රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට තවමත් විසදුමක් ලැබිලා නැහැ. පිළිකා, හෘදය සහ බාහිර රෝගීන්ට අවශ්‍ය ඖෂධවල හිඟයක් තියෙනවා. බාහිර රෝගීන්ට නිකුත් කරන ඖෂධ එකක් දෙකක් තමයි රෝහලේ තියෙන්නේ.අනික් ඖෂධ පිටතින් ගැනිමට සිදුවෙලා තියෙනවා.” යැයිද රවි කලංසූරිය මහතා පැවසුවා.


මේ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යු.එම් රංගා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ; “කොබෝල්ට් මැෂිම පරණ යන්ත්‍රයක්. මෙම යන්ත්‍රය නිතර නිතර ක්‍රියා විරහිත වෙනවා. මෙම යන්ත්‍රය කැඩිලා කියලා ගිය බ්‍රහස්පතින්දා තමයි මට වාර්තා වුණේ.මෙම යන්ත්‍රය අලුත්වැඩියා කරන්න කොළඹින් එන්න ඕන. ලබන සතිය වනවිට මෙම යන්ත්‍රය අලුත්වැඩියා කරගන්න පුළුවන් වේවි. දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ නේවාසික රෝගින් 300ක් විතර ප්‍රතිකාර ලබනවා. පිළිකා ඒකකයේ විකිරණ ප්‍රතිකාර කිරිම සදහා නවින පහසුකම්වලින් යුත් තවත් යන්ත්‍රයක් තියෙනවා. එම යන්ත්‍රය මගින් දිනකට පිළිකා රෝගින් 60කට පමණ ප්‍රතිකාර කරනවා.කොබෝල්ට් යන්ත්‍රය මගින් දිනකට දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන පිළිකා රෝගින් 30 දෙනෙකුට පමණ විකිරණ ප්‍රතිකාර කරනවා. නවීන පහසුකම්වලින් යුත් යන්ත්‍රයෙන් විකිරණ ප්‍රතිකාර ලබා ගැනිම සදහා දැනට මාස තුනක පමණ පිළිකා රෝගින්ගේ පොරොත්තු ලේඛනයක් තිබෙනවා.” ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: