hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 15, පෙ.ව. 12:10



වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදුසු පිරිසක් නොමැති වීම හේතුවෙන් ව්‍යාපාරිකයන් මාර්ගයෙන් තමන් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එකතු වන ලෙසට ආරාධනා ලැබෙමින් පවතින බව එම පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

තමන් සමගි ජන බලවේගයට එක්වී වසර එකහමාරක් වැනි කෙටි කාලයක් වුවද, විවිධ මාර්ග ඔස්සේ තමන් වෙත පණිවිඩ එවමින් ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර නොගෙන ඔවුන් සමඟ එක්ව වැඩ කරන ලෙසට ඉල්ලීම් ලැබෙන බව අබේසිංහ මහතා සඳහන් කළේය.

“මල්ලි මේ ආණ්ඩුවත් එක්ක හැප්පෙන්නේ නැතුව ඇයි ඕගොල්ලන්ට බැරි මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න? මේකට වැඩ කරන්න මිනිස්සු නෑ මල්ලි” යනුවෙන් ව්‍යාපාරිකයන් පවා තමන්ට පවසන බව ඔහු මෙහිදී අනාවරණය කළේය.

ජාතික ලැයිස්තුවෙන් පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හේතුවෙන් ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු උත්සන්න වී ඇති බවත් ඔහු පැවසීය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කිහිප වතාවක්ම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නද, තව මාසයක් ඉවසන ලෙසත්, එම කාලය තුළ සමගි ජන බලවේගයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පිරිස් ලබාගෙන ආණ්ඩුව ගොඩදාන බවටත් ජනාධිපතිවරයා ඔහුට පොරොන්දු වී ඇති බව අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව විවේචනය කළ ඔහු, වැට් බද්ද තවත් සියයට 2.5කින් වැඩි කරමින් ජනතාවගේ ශ්‍රමය සූරාකන බවට චෝදනා කළේය.

විදුලි බිල, ඉන්ධන මිල සහ ගෑස් මිල කිහිප වතාවක් ඉහළ දැමීම හරහා ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බවත්, උද්ධමනය සියයට 5කට වඩා වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

රට ගොඩනැගිය හැකි සහ විශ්වාසනීය ලෙස වැඩ කළ හැකි හොඳම කණ්ඩායම සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ බව දැන් ආණ්ඩුවට පවා වැටහී ඇති බව අබේසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බෝ කර ගනිමින් ‘ජාතික ආණ්ඩුවක්’ කරා යාමට බවත්, එය ඔවුන්ගේ අවසාන උත්සාහය වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: