hit counter

2026 ජූනි මස 11 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 12, පෙ.ව. 12:06



බදුල්ල ශික්ෂණ රෝහලේ පැවති පෝෂණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමනට සමගාමීව පැවැත්වුණු වැඩසටහනට එක්වෙමින් බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය දරුණු සෞඛ්‍ය ගැටලුවක් පිළිබදව හෙළි කළාය.

එහිදී ඇය පවසා සිටියේ මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩිම ඌව පළාතේ බව මන්දපෝෂණය පමණක් නොව අධිපෝෂණය එනම් අනවශ්‍ය විදියට බර වැඩිවීම යන කාරණාවද මෙම පළාත තුළ වැඩි වශයෙන් පවතින බවත්ය.

මෙම ගැටලුවට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ දැනුම් මට්ටමේ අඩු බවත් සෞඛ්‍ය පිළීබදව දක්වන නොසැළකිල්ල බවත් ඇය පැවසුවාය.

මීට පෙරද ජූනි 3 සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ජාතික පෝෂණ මාසයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් පහෙන් එකක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 10.1% ක් කුරු වීම, 8.6% ක් ක්ෂය වීම, 16.1% ක් අඩු බර සහ 0.57% ක් අධික බරින් යුක්ත බව ඔහු සඳහන් කළ අතර එය ශ්‍රී ලංකාවේ පවතින පෝෂණ අභියෝග ඉස්මතු කළේය. උපත් අනුපාත පහත වැටීම, වාර්ෂිකව අඩකින් පමණ අඩු වීම, අනාගත මානව සම්පත් හිඟයකට හේතු විය හැකි බවට ද වෛද්‍ය ජාසිංහ අනතුරු ඇඟවීය.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් බොහෝ විට වැඩිහිටි වියේදී තරබාරු වන අතර එය සෞඛ්‍ය අවදානම් ඉහළ යාමට දායක වන බව ඔහු තවදුරටත් පැවසීය. මෑත දත්ත වලට අනුව, වැඩිහිටි කාන්තාවන්ගෙන් 47% ක් සහ පිරිමින්ගෙන් 30% ක් තරබාරු අය වන අතර කාන්තාවන්ගෙන් 15% ක් සහ පිරිමින්ගෙන් 6% ක් පමණ දැඩි තරබාරු අය ලෙස වර්ගීකරණය කර ඇත.

ජාතික පෝෂණ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් ප්‍රවර්ධනය කිරීම, සෞඛ්‍යයට අහිතකර කෙටි ආහාර නියාමනය කිරීම සහ මාළු වැනි පෝෂ්‍යදායී ආහාර වඩාත් දැරිය හැකි මිලකට ලබා දීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. මන්දපෝෂණය, අධිපෝෂණය සහ ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් සපුරාලීම සඳහා පාසල් සහ ආයතනවල වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: