hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 26, පෙ.ව. 12:04



ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට ‘109’ යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ 2024 ජනවාරි 04 සිට මාර්තු 10 දක්වා කාලය තුල කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපයෝජන, ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් සම්බන්ධ පැමිණිලි 1,077ක් ලැබී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ඉන් පැමිණිලි 477ක විමර්ශන අවසන් කර ඇති අතර පැමිණිලි 42ක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි. තවත් පැමිණිලි 8ක් සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති අතර පැමිණිලි 550කට අදාළව විමර්ශන මේ වනවිට සිදුවෙමින් පවතින බව ද එහි වැඩිදුරටත් සඳහන්.

ළමා සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට අදාළ පැමිණිලි භාර ගැනීම සඳහා 2024 ජනවාරි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක මෙම විශේෂ ඒකකය ස්ථාපිත කරන ලදී.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් හෝ ක්ෂණික ඇමතුම් අංකය වන ‘109’ සහ දුරකථන අංකය – 011 2444444 ඔස්සේ ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම විශේෂ ඒකකය අවස්ථාව ලබා දෙන බවයි.

මෙම ඒකකය මගින් ළමා හා කාන්තා හිංසන සහ හිරිහැර, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිත භාවය, ළමා ශ්‍රමිකත්වය සහ කෲරත්වය සහ සයිබර් අපරාධ සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි. මේ අතර, පොලිස් ස්ථාන වෙත යාමට නොහැකි කුඩා දරුවන්ට ඉහත විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රහසිගතව පැමිණිලි කිරීමට අවස්ථාව සලසා ඇති බව පොලිසිය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: