hit counter

2026 මැයි මස 26 වන අඟහරුවාදා

2026 මැයි 27, පෙ.ව. 12:06



වත්මන් රජය යටතේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීමකට ලක්ව ඇති බවත්, අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවන ඇතැම් සිදුවීම් හේතුවෙන් එහි ස්වාධීනත්වය පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ජාඇළ ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

“අද මේ රටේ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙන්නේ. රටේ පැවතිය යුතු නීතිමය තත්ත්වය ගැන නිදහසේ කතා කරන්න බැරි වාතාවරණයක් උදාවෙලා තියෙනවා. අධිකරණයේ නඩු තීන්දු ප්‍රකාශයට පත්වන්නේ ජනාධිපතිවරයාට හෝ පැලවත්ත පාර්ශ්වයට වුවමනා ආකාරයටද කියන සාධාරණ සැකය අද අපට මතු වෙනවා. ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ නිසා මේ සැකය තවත් තීව්‍ර වී තිබෙනවා.”

ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු 5ක් අභියාචනාධිකරණයේ තනතුරු 3ක් පවතින පුරප්පාඩු පිළිබඳව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වත්මන් පාලනය යටතේ විනිසුරුවරුන් විශාල පිරිසක් ඉවත් කර ඇති බවටද චෝදනා කළේය.

“මේ වගේ තනතුරු මෙච්චර කාලයක් පුරප්පාඩුව තබාගෙන ඉන්නේ ඇයි? මේවා අපට මතු වන බරපතළ ගැටලු,” යැයිද ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳවද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, අගවිනිසුරුවරයා කෙරෙහි තමන් තුළ පවතින ගෞරවය අවධාරණය කරමින් මෙසේ සඳහන් කළේය:

“අපි අගවිනිසුරුතුමාට සැමවිටම ගරු කරනවා. නමුත් මෑතකදී අගවිනිසුරුතුමා තෝල්කයෙකුගේ හෝ මුඩ්ලියර්වරයෙකුගේ හිසට අත තබා යාඥා කරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. කනගාටුවෙන් වුවත් කිව යුතුයි, මේවා ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය තුළ මීට පෙර කවදාවත් දකින්න ලැබුණු දේවල් නෙවෙයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: