hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 01, ප.ව. 4:27



අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි රණවක ශිෂ්‍යාව සමත් වී තිබෙනවා.                                                                                                     

සමාධි රණවක ශිෂ්යාව පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලකුණු 171 ක් ලබා ගනිමිනි.

පළමු වසරේ සිට මහාමායා බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබ තිබෙන සමාධි පාසලේ කණිෂ්ඨ විද්‍යා සංගමයේ ලේකම් ලෙස මෙන්ම තවත් විද්‍යාලයීය සංගම් රැසක නිලතල දරයි.

ප්රථම ස්ථානය හිමිකර ගත් සමාධි මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතා ගේ දියණිය වන අතර මව දේශානි කරුණාතිලක මහත්මිය වෙයි.

සමාධි ගේ වැඩිමහල් සහෝදරිය වන දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට  සුදුසුකම් ලබා තිබෙන අතර අනෙක් සහෝදරිය වන යශෝධරා රණවකද ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහාමායා බාලිකාවේ උසස් පෙළ හදාරමින් සිටියි.

සාමාන්‍ය පෙළ විභාගයේ දී තමන්ට අනිවාර්යයෙන්ම ඒ සමාර්ථ 09 ක් ලැබෙණු ඇතැයි අනුමාන කළත් දිවයිනේ විශිෂ්ඨයා වීමට ලැබේ යැයි නොසිතූ බවත් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදරා අනාගතයේ දී වෛද්‍යවරියක වීම තම බලාපොරොත්තුව බවත් සමාධි සඳහන් කළා.                     

මෙම ජයග්‍රහණය ලබා ගැනීමට විදුහල්පතිනිය සසිකලා සේනාධීර මහත්මිය ඇතුළු පාසලේ ගරු මණ්ඩලයෙන් ද දෙමව්පියන් ගෙන් හා සහෝදරියන් දෙදෙනාගෙන් ද ලැබුණු සහය අගය කරන බව ද ඇය කියා සිටියා.

ඉලක්කයක් ඇතිව එදිනෙදා වැඩ එදිනම අවසන් කර විභාගයට සූදානම් වූ බවත් ඒ නිසා විභාගය ආසන්න වෙත් දී පීඩනයකින් තොරව පාඩම් වැඩ කර ගැනීමට හැකි වූ බවත් සාමාධි ප්‍රකාශ කළා.

අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු කළමනාකරණය කර ගනිමින් කටයුතු කළ යුතු බවද ඇය සඳහන් කළා.

සමාධි සිසුවිය පාසලට විශාල කීර්තියක් ගෙන දී තිබෙන බවත් විදුහල්පතිවරිය මෙන්ම පාසලේ ආදි සිසුවියක් ලෙස මෙම ජයග්‍රහණය පිළිබඳව ආඩම්බර වන බවත් මහනුවර මහාමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර මහත්මිය මෙන්ම අනෙකුත් ආචාර්යවරු සඳහන් කරයි.

මේ අතර 2022-2023 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල වලට අනුව මුලු දිවයිනෙන්ම දෙවන ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා මහ විද්‍යාලයේ සිසුවියකට හිමිව තිබෙනවා.

දිවයිනෙන්ම මෙලෙස දෙවන ස්ථානය මෙන්ම දෙමළ මාධ්‍යෙයන් පළමු ස්ථානය හිමිව ඇත්තේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අක්ෂියා ආනන්දා සයානන් සිසුවියටයි.

මහනුවර – කමල් සුරවීර / වන්නි – රොමේෂ් මධුෂංක





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: