hit counter

2024 දෙසැම්‍බර් මස 09 වන සඳුදා

2024 අගෝස්‍තු 29, පෙ.ව. 12:07



මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ටත් පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවට  ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් කළ කරුණු අනුව පෙන්වාදී තිබේ.

ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දී තිබෙන්නේ, මෙම කාරණය සැළකිල්ලට ගනිමින් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව රබර් වගාව සඳහා ලබා දෙන එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන තිබෙන බවයි, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසා සිටියේ.

මේ වනවිට වී වගාව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 25,000ක් වශයෙන් විශාල පොහොර සහනාධාරයක් ලබා දී ඇති අතර ඊට අමතරව තේ, පොල් හා කුරුඳු වගාවන් සඳහා රුපියල් 4000ක පොහොර සහනාධාරය ලබා දීමට රජය පියවර ගෙන ඇත.

එමෙන්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රබර් වගාව සඳහා ද එම පොහොර සහනාධාරය වගාකරුවන්ට ලබා දීමට රජය පියවර ගත් බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: