hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 16, පෙ.ව. 10:36



රජයේ ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණක් මුදල් වැය කරන ලෙස දන්වා මහා භාණ්ඩාගාරය ඉකුත්දා නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන්, අමාත්‍යාංශවල එදිනෙදා කටයුතු පවා පවත්වාගෙන යාමට නොහැකිව බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යාංශ ගණනාවකම ඉහළ නිලධාරීන් සඳහන් කළේ රජයේ ආයතනවල එදිනෙදා නඩත්තු කටයුතු පවා මේ හේතුවෙන් කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි. 

දකුණු පළාතේ එක්තරා මැතිවරණ කාර්යාලයක ඡායාපිටපත් යන්ත්‍රය කැඩීගොස් ඇතත් මුදල් නොමැති නිසා එය අලු‍ත්වැඩියා කර ගැනීමට නොහැකිව පසෙකට දමා ඇතැයි වාර්තා වනවා.

රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍යම සේවා පවත්වාගෙන යාමට පමණක් මුදල් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රජයේ ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කරමින් ඉකුත් දෙවැනිදා සියලු‍ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා. 

ඔහු එමගින් දැනුම් දී තිබුණේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධක වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය ආදිය සඳහා පමණක් මුදල් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි. 

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කැබිනට් මණ්ඩලයට ඉකුත්දා දැනුම්දී තිබුණේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 15,870 ක් බවත්, එහෙත් වියදම රුපියල් කෝටි 36,780ක් වන බවත්ය. 

රජයේ ආයතනවල වියදම් සීමා කරමින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය හේතුවෙන්, අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක දැනුවත් කිරීමේ වැඩසටහන් පවා නතර කිරීමට සිදුවී ඇති බව උසස් නිලධාරියෙක් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: