hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 01, පෙ.ව. 12:34



බොහෝ විට ජනතා සේවය සඳහා යෙදවීමට ඇති කාලය පෞද්ගලික සුඛ විහහරණය සඳහා යොදවමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින් අතර තමන් ගේ පෞද්ගලික මුදල් පමණක් නොව රාජකාරි වේලාවෙන් බැහැර කාලය ද ජනතා සේවය පිණිසම  යොදවන රාජ්ය නිලධාරීන් පිරිසක් පිළිබඳ අපූරු පුවතක් අපට අසන්නට, දකින්නට ලැබුණේ මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙනි.

රජයේ මුදල් රුපියලක් හෝ භාවිත නොකර පරිත්‍යාගශිලින්ගේ උදව් උපකාර හා ප්‍රදේශයේ  ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සේවකයින්ගේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් පන්සියයකට අධික පිරිසකට එකවර අසුන් ගත හැකි එළිමහන් රඟ මඬලක් කලා ශිල්පීන් සඳහා නේපත්‍යාගාරයක් මෙන්ම ඒ සඳහා වන කාර්යාලයක්ද මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් ඉන්දික අනුරුද්ධ මහතාගේ මග පෙන්වීම යටතේ ඉදිකර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඉන්දික අනුරුද්ධ මහතාගේ සංකල්පයකට අනුව මෙම එළිමහන් රඟ මඬල නිර්මාණය කර තිබෙන්නේ මුළු මනින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරත්චන්ද්‍ර එළිමහන් රඟ මඬල (වල) හා සමාන ආකාරයෙන්.

රුපියල් ලක්ෂ 100 ක පමණ පිරිවැයක් වැය වෙතැයි අපේක්ෂා කළ මේ අපූරු නිර්මාණය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට රාජ්ය මුදල් රුපියලක් හෝ වැය වී නොමැති වීම විශේෂත්වයක්.

එළිමහන් රඟ මඬලේ අසුන් ගැනීම සඳහා සකස් කළ කොටස ප්‍රදේශවාසීන් ඔවුන්ගේ නිවාස වලින් ඉවත් කර තිබූ උළු කැට 20000 කින් නිමකර ගැනීමට මෙම පිරිස සමත්ව ඇත.

සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වැඩ කුලී ගණනය කළහොත් එම රුපියල් ලක්ෂ 20 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබූ නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කරන මේසන් වැඩ, වඩු වැඩ දන්නා නිලධාරීන් ගේ සහය මත කිසිදු මුදලක් වැය නොකර අදාළ කාර්යයන් ඉටුකර ගැනීමට හැකි වී තිබීම අගය කළ යුතුයි.

වැලි, සිමෙන්ති, ගල් මෙම ස්ථානයට ගෙන ඒමේ සිට සියලු  වැඩ සිදුකර ඇත්තේ කාර්යාලයේ සේවය කරන සේවක සේවිකාවන් ගේ දෑත් වලින්.

මේ සම්බන්ධව අදහස් දැක්වූ මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් ඉන්දික අනුරුද්ධ මහතා මේ එළිමහන් රංග පීඨය ඉදිවීම පසුපස තිබෙන යෝධ ශක්තිය කාර්ය මණ්ඩලයේ ඇති එකමුතුව හා කැපවීම යැයි පැවසුවා.

සමස්ත කාර්ය මණ්ඩලයේම දහඩිය මහන්සියෙන් ඉදිවූ මෙම රඟ මඬල කොට්ඨාසයේ කලාකරුවන්ට මෙන්ම පාසල් සිසුන්ට ඔවුන් ගේ හැකියාවන් එළිදැක්වීමට තෝතැන්නක් වනු ඇතැයිද ඒ මහතා කියා සිටියා.

රාජකාරී බැඳීමට එහා ගිය සමාජ වගකීමක් සෑම රාජ්‍ය සේවකයෙකුටම තිබෙන බවත් මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු රාජ්‍ය සේවකයින් සාමුහිකව කටයුතු කරමින් රටට ලබා දුන්නේ එම ආදර්ශය බවත් ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවා.

සංවර්ධන නිලධාරී ලලිත් බණ්ඩාර හේරත් මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ මේ සඳහා යොදාගත් වැලි කැටයේ සිට සියලු දේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ඉවත දමා තිබූ ඒවායින් සපුරා ගැනීමට කටයුතු කළ බවත් රඟ මඬල සඳහා යොදාගෙන තිබෙන දැව කඳන් ප්රදේශයේ අලි වැටක් ඉදි කිරීමේ දී කපා ඉවත් කර තිබූ ඒවා බවත් එම රඟමඬල වට බැම්ම ඉදිකිරීම සඳහා පරිත්‍යාගශීලීන් ගෙන් උදව් බලාපොරොත්තු වන බවයි.

මෙම එළිමහන් රඟ මඬලේ සැළසුම සකස් කරනු ලැබ ඇත්තේ මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරී හර්ෂණ පෙරේරාය.

අධික බෑවුමක සහිත ස්ථානයක ඉදිකර තිබෙන මෙම රඟ මඬල භූමියේ පිහිටීමට අනුව සැළසුම් කිරීමට ඔහු සමත්ව ඇත.

රාජ්‍ය මුදල් වංචා කරමින් මහජන සේවය පැහැර හරිමින් තම යුතුකම් රට වෙනුවෙන් ඉටු නොකරන ඇතැම් රාජ්‍ය නිලධාරින්ට අපූරු පණිවිඩයක් දෙමින් රාජකාරිය දේව කාරියක් කර ගනිමින් මහජන සේවය සඳහා කැපවූ මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සේවකයින් අතින් ඉදි වූ රඟ මඬල ඊයේ (31) ජනතා අයිතියට පත් කෙරුණා.

එහි සමාරම්භය සනිටුහන් කරමින් මැද දුම්බර බලි ශාන්ති කර්මශිල්පී මීගහලන්දේ සිරිසේන විසින් රැය පහන් වනතෙක් බලි ශාන්තිකර්ම යාගයක් සිදු කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: