hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 21, ප.ව. 1:02



සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් අනුව කටයුතු කරන බව පවසමින් සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ ස්ථාන 02 කින් තිස් දෙනෙකුට අධික අනවසර හේන් වගාකරුවන් පිරිසක් බලහත්කාරයෙන් වත්තේගම, කැබිලිත්ත රක්ෂිතය තුළට ඇතුළු වී නිලධාරීන්ට තර්ජනය කරමින් හේන් වගා කිරීම සඳහා ට්‍රැක්ටර් රථ යොදා ගෙන පසුගිය 18 දින බිම් සකස් කිරීමට පටන් ගත් බව  සියඹලාණ්ඩුව අඩවි වන නිලධාරි කාර්යාලයෙන්  පරිසර යුක්ති කේන්ද්‍රයට  දැන ගන්නට ලැබුණු බව ඔවුන් කියා සිටිනවා.

ජනාධිපතිවරයා විසින් එවැනි උපදෙස් ලබා දුන්නේද? යන්න පිළිබදව නිවැරදිව දැනගන්නට අවස්ථාවක් නැති වුවද, ඔවුන් විශ්වාස කරන්නේ ඒ් ආකාරයෙන් වනය විනාශ වන අන්දමින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

මෙම සිදුවීම හා සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන ලෙසත්, අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස සහ ඇතිමලේ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර සහාය ඉල්ලා සිටින ලෙසත් සියඹලාණ්ඩුව අඩවි වන නිලධාරී, වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම අනවසර වගාකරුවන් මෙහෙයවමින් සහ නායකත්වය දෙමින් මෙවරද පැමිණ ඇත්තේ පෙර අවස්ථා කිහිපයකදී වන නිලධාරීන් නිවාස අඩස්සියේ තබා ගත්, වන නිලධාරීන් සහ රජයේ වාහන වලට පහර දුන් සහ මොනරාගල දිසා වන කාර්යාලයට පහර දුන් අයවලුන්ම වන බව වන සංරක්ෂණ ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

උක්ත සදහන් ජනාධිතිවරයා සහභාගි වූ ක්ෂේත්‍ර සංචාරය සහ සාකච්ඡාව සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වීමට උත්සාහ  කළද, මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම අවස්ථාව සඳහා කැඳවීමක් සිදු කර නැති හෙයින් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයක් නොතිබූ බව සදහන්.

මෙවර මෙම රක්ෂිත වනාන්තරය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මේ වන විට පැළ නිෂ්පාදනය කර, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්ෂේත්‍ර පරීක්ෂා කර ඉදිරි සැළසුම් ද සකස් කර තිබෙනවා.

එමෙන්ම මෙම රක්ෂිත වනාන්තරයට 2020 වර්ෂයේ සිට අනවසරකරුවන් ඇතුළුවීම තහනම් කළ පසු වන නිලධාරීන් විවිධ වූ පහර කෑම්, තර්ජනය කිරීම්, රජයේ දේපළ වලට හානි කිරීම් ආදියට මුහුණ දෙමින් සහ අති දුෂ්කර භූමි භාගයක පැල නිෂ්පාදනය කරමින් දැවැන්ත කැප කිරීමක් සහ වියදමක් දරා තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේම නියෝගයකට අනුව ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ  එම පැළ සිටුවීම සදහා මේ දිනවල සැළසුම් සකස් කරමින් පවතින අතර එම වැඩසටහන සඳහා වියදම් ඇස්තමේන්තුව රු.මිලියන 70 කට අධිකයි.

තවදුරටත් මෙම වනාන්තරය ආරක්ෂා කර ගෙන ප්‍රතිස්ථාපනය කල යුතු වන්නේ නම් මෙවැනි තත්වයකට මුහුණ දීම සඳහා අදාළ ප්‍රදේශයේ සිටින සීමිත නිලධාරීන් සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් ඒ සදහා ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තතු දත් ආරංචි මාර්ග සදහන් කරයි.

තත්වය එසේ තිබියදී අනවසර හේන් වගාකරුවන් රක්ෂිතය තුළ නැවතත් හේන් වගාව සිදු කරන්නේ නම්, උක්ත සඳහන් කරන ලද නිලධාරීන්ගේ කැප කිරීම්, රජයේ වියදම් සහ සියලු ඉදිරි ක්‍රියාමාර්ග නිශ්ඵල වන බැවින් අතිගරු ජනාධිපතිවරයා විසින් එවැනි උපදෙස් ලබා දුන්නේද? යන්න නිශ්චිත කර ගත යුතුව ඇත.

හික්කඩුවබුද්ධික වීරසිංහ