hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 26, ප.ව. 3:33



රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඖෂධ ආනයන කටයුතු සදහා පවතින ඩොලර් අර්බුදය හේතුවෙන්.

මෙම තත්ත්වයත් සමග මේ වන විට ඖෂධ මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඖෂධවල හිගයක්ද මතුව තිබෙනවා.

රජයේ රෝහල් රැසක අත්‍යාවශ්‍ය ඖෂධ, තුවාල වෙලුම්පටි, පුළුන් සහ උපකරණ වල හිගයක් පවතින බවට වාර්තා වුණේ එවන් පසුබිමකයි.

දියවැඩියා රෝගීන් භාවිතා කරන ඖෂධ , ස්නායු රෝගීන් භාවිතා කරන ඖෂධ, දරුවන්ට ලබා දෙන පිරිටන් සහ සෙට්‍රසීන් ඖෂධ , අක්ෂි කාච හිගය පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කරනවා.

මේ අතර මීට මාස 2කට පමණ පෙර හිගව පැවති ඖෂධ 120ක පමණ ප්‍රමාණය මේ වන විට 150 දක්වා වැඩි වීමේ සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ජාතික රෝහලේ පවා මේ වන විට නිර්වින්දන ඖෂධ වල හිගයක් ඇති වෙලා තියෙනවා. හදවත් රෝගීන් ලබා දෙන සමහර ඖෂධ වල විශාල හිගයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් උපකරණ වල විශාල හිගයක් පද්ධතිය තුල දිගටම පවතිනවා. ඩෙංගු රෝගීන් හදුනා ගැනීම සදහා අවශ්‍ය වන රුධිර පරීක්ෂණ සදහා නිසි පරිදි කර ගැනීමේ ගැටලුවකට මේ වන විට සෞඛ්‍ය පද්ධතිය මුහුණ පාමින් තියෙනවා. මේ මොහොතේ මිල අඩු කළ හැක්කේ මේ රටේ රෝගීන් බහුලවම භාවිතා කරන ඖෂධ යම් ප්‍රමාණයක් ලැයිස්තුවක් පිලියෙල කරන්න ඒ ලැයිස්තුවට අදාල මිල නියාමනය ලබා දෙන්න අනුමැතිය ජනපති නියමයෙන් ලැබිලා තියෙනවා. නමුත් අවාසනාවන්ත කාරණය ඒ ඖෂධ ලැයිස්තුව සකස් කිරීම සදහා කිසිම මූලික පියවරක් මේ වන විය සෞඛ්‍ය අමාත්‍යංශය පැත්තෙන් අරගෙන නැහැ.”

ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට ‍නොහැකි වූ බව , සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරි‍යෙකු සඳහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් ඖෂධ වර්ග 1000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවයි.

එම කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක පවතින හිඟය මෙතෙක් මහ හැරවිමට නොහැකි වූ බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ද ඩොලර් මිලියන 4ක ඖෂධ හා උපකරණ මෙරටට ලැබීමට නියමිත බවයි.

පවති තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ තොග කළමනාකරණයකින් යුතුව රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මේ අතර වාර්තාවන ඖෂධ හිගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ මෙරටට අවශ්‍ය ඖෂධ 383න් 159ක් පමණ මේ වන විට ගබඩා වල නොමැති බවයි.

රෝහල් කිහිපයක පමණක් එම ඖෂධ පවතින බවද ඔහු ප්‍රකාශ කළා. කෙසේවෙතත් ජීවිතාරක්ෂාව සදහා නිර්දේශ කර ඇති ඖෂධ වර්ග 14ම ප්‍රමාණවත් පරිදි පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

මේ අතර පිළිකා රෝගීන් සදහා ලබා දෙන ඖෂධ 15ක් හිගයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“15කට ආසන්න ඖෂධ ප්‍රමාණයක් පිලිකා රෝගීන් සදහා භාවිතා කරන දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ නැහැ. පිලිකා රෝග ඒකක සමහර විට වැසී යාමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තම හදිසි ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් සදහා රෝහල්වල ඖෂධ මිලදී ගන්නවා ප්‍රාදේශීයව. එතකොට ඒ ප්‍රාදේශීයව ඖෂධ මිලදී ගැනීම සදහා ලබා දීලා තියෙන මුදල් ලබා නොදීම හේතුවෙන් මේ වෙනකොට සමහර රෝහල් මිලියන 20ක 30ක ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා බාහිර ඔසුසැල් වලට. ඒ ඔසුසැල් වලින් ඖෂධ අදාල රෝහල්වලට ලබා නොදීමට මේ වනකොට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමයි එහි ප්‍රතිඵලයක් විදියට මේ වන විට රිජ්වේ ආර්‍යා ළමා රෝහලට අති විශාල ඖෂධ වල හිගයක් පවතිනවා.”