hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 23, ප.ව. 3:35



“මන්කි පොක්ස්” වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් කිහිපයක පැතිර ගොස් තිබෙනවා.

එම වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින්නේ තරුණ ප්‍රජාවට සහ ළදරුවන්ට බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාද්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසූවේ “මන්කි ෆොක්ස්” වෛරසයට එරෙහි එන්නතක් මේවනවිටත් භාවිතයේ පවතින බවයි.

රෝගයෙන් ආරක්ෂා වීම

මෙම වෛරසයේ දැනට ව්‍යාප්ත වෙමින් ඇති ප්‍රභේදය දරුණු තත්ත්වයක් ඇති නොකරන ප්‍රභේදයක් බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මේවනවිට අනුගමනය කරන සෞඛ්‍ය ක්‍රමවේදයන් “මන්කි පොක්ස්” වෛරසයෙන් ආරක්ෂාවීමට ද වැදගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

වඳුරු උණ රටට ඇතුළු වෙයි?

මේ වන විට රටවල් කිහිපයක පැතිර යන “මන්කි ෆොක්ස්” හෙවත් වඳුරු උණ වසංගතය පිළිබඳව මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එම වසංගත රෝගය මෙරටට ඇතුලු වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙරටට පැමිණෙන වඳුරු උණ ආසාදිත විදෙස් ජාතිකයින් හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපල ද දැනුවත් කර ඇති බවයි එම ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිණිගේ මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ගුවන් තොටුපලේදී වඳුරු උණ රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් වෙන් කර වෙනම නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

කොරෝනා වගේද?

රෝගයේ ව්‍යාප්ති වේගය කොරෝනා රෝගයට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවත් ඉතා සමීපව ඇසුරු කරන පුද්ගලයන් අතර මෙම රෝගය පහසුවෙන් බෝවීමේ හැකියාව පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා

ඒ අනුව කොරෝනා හඳුනා ගැනීමට සිදු කල ආකාරයේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මෙම රෝගය හඳුනා ගත හැකියි.

රෝග ලක්ෂණ

මුහුණ, අත, පය ඇතුලු ශරීරයේ විවිධ ස්ථාන වල රතු පැහැති ලප හෝ බිබිලි ඇති වීම, වසා ගැටිති ඉදිමීම සහ උණ මෙම මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණෙහි රෝග ලක්ෂණ වනවා.

එම රෝග ලක්ෂණ ඇති වුවහොත් වහා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙසයි වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ.

ලංකාවටත් බලපෑමක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි හෙයින් සියලු දෙනා ඒ ගැන කල්පනාවෙන් පසුවිය යුතු බවයි.

ඒ රෝගය මෙරට පැතිර ඇත්දැයි සෙවීමට ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ සිට පැමිණෙන පුද්ගලයන්ගෙන්  රෝගය  සම්ප්‍රේෂණය විය හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

සමේ සැරව බිබිලි මතුවීම  සහ  උණ ගතිය මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත්  එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සිටී  නම් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසූවා.

ලොව පුරා මන්කි ෆොක්ස් රෝගීන් අනූ දෙදෙනෙකු වාර්තාවී ඇති අතර, මෙරටින් මේ දක්වා කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ.