hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 11:36



මෑතකදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදුවූ ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එවැනි තත්ත්වයන් සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෑතකදී සිදු වූ සිද්ධීන් පිළිබඳවත් එම අඩුපාඩු නිවැරැදි කර ගැනීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (24) පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉහළ පරිපාලනයත්, ඉංජිනේරු අංශයත්, සිවිල් ගුවන්සේවා අධිකාරියත්, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමත් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි වූවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන් ගමනේදී ගුවන් යානයේ පරිගණක පද්ධතියේ තිබූ දෝෂයන් නිසා යානය මෙල්බන් ගුවන්තොටුපොළේ රඳවා තබා ගැනීමට සිදු වූ බවට මෙහිදී අනාවරණය වුණා.

එම සිද්ධිය පිළිබඳව දැනටමත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මඟින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බව ඇමැතිවරයා මෙහිදී අනාවරණය කළා.

එම පරිගණකයේ කොටස් නිෂ්පාදිත සමාගම වෙත යැවීමට මේ වන විට කටයුතු කර තිබෙන බැවින් එම පරීක්ෂණ නිමවූ පසු වාර්තාව ප්‍රසිද්ධියට පත්කරන බව ද ඒ මහතා පැවසුවා.

ඩුබායි සඳහා පරිහරණය කළ ගුවන් යානාවේ අභ්‍යන්තර පීඩනය පිළිබඳව ඇතිවූ ප්‍රශ්නයක් මත එම යානාව නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත එවීමට සිදු වූ බවත් ඒ පිළිබඳවත් දැනටමත් පරීක්ෂණයක් කරගෙන යන බවත්, ගුවන් සේවය දන්වා සිටි බව ඒ මහතා කරුණු හෙළි කළා.

ඒ අනුව එම පරීක්ෂණ දෙකම කඩිනමින් නිමකොට ලැබෙන පරීක්ෂණ වාර්තාවල තොරතුරු පදනම්කොට ගෙන ඉදිරියට මෙවැනි තත්ත්වයන් සිදු නොවීමට පියවර ගන්නා ලෙසට ඇමැතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බලධාරීන්ට තරයේ උපදෙස් ලබා දුන්නා.

මෙහිදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ රිචඩ් නටාලි මහතා පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පමණක් නොව ලෝකයේ සෑම ගුවන් සේවාවකම මෙවැනි සිද්ධීන් සිදු වන බවයි.

එහිදී ඇමැතිවරයා මෑතකදී ලෝකයේ ගුවන් සමාගම්වල එවැනි සිද්ධීන් පිළිබඳ වාර්තාවන් තමා වෙත සතියක් තුළ ලබා දෙන ලෙස විධායක නිලධාරිවරයා‍ගෙන් ඉල්ලා සිටියා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ ප්‍රධානියා කරුණු දක්වමින් කියා සිටියේ ඉංජිනේරු අංශය වෙත බඳවා ගන්නා අය ඉන් අස්වී වෙනත් රැකියා සඳහා විදෙස් රටවලට යන බැවින් ඉංජිනේරු අංශයේ 25 දෙනකුගේ අඩුපාඩුවක් තිබෙන බවයි.

ඒ අනුව ඉංජිනේරු අංශයේ අත්‍යවශ්‍ය 25 දෙනා බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය අද දින ඇමැතිවරයා දුන්නා.

මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු එකදු ගුවන් යානාවක් වත් නොමැති බවත්, ගුවන්සේවා ක්‍රියාවලිය පවත්වාගෙන යනු ලබන්නේ විවිධ රටවලින් කල් බදු ක්‍රමය යටතේ ලබාගත් ගුවන් යානාවලින් බවත්, මෙම යානාවල කල්බදු කාලය නිම වී ඇති බැවින් අලුත් ගුවන්යානා ලබා ගැනීමේ දී පාරදෘශ්‍යභාවයෙන් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව කඩිනමින් ගුවන් යානා ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම මෙම ක්‍රියාවලියට සමගාමිව ශ්‍රී ලන්කන් ගුවන්සේවා සමාගමේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව පැවසු ඇමැතිවරයා දැනටමත් එම කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් කමිටුවක් පත්කර තිබෙන බවත්, කඩිනමින් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූවා.