hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 1:13



නොමිලේ අධ්‍යාපනයක් සහිත ලොව අතළොස්සක් රටවල් අතරට එක් වන මෙරට රජය, පළමු ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබා දෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරමින් සිව් වයස් සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඒ සඳහා මුදල් ගෙවිය නොහැකි දරුවන් වෙනුවෙන් රජය මැදිහත් වන අතර, අවශ්‍යතාව මත ඉඩකඩ පවතින ප්‍රාථමික පාසල්වල පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පැවැත්විය හැකි බවත්, වැසී යෑමේ අභියෝගයකට මුහුණ පා ඇති පාසල්වලට ද එය යම් විසඳුමක් වන බවත් පැවසූ ඇමැතිවරයා, අධ්‍යාපන පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමේ මූලික ම පියවර වන්නේත් මෙරට දරුවන්ගේ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධනය යැයි ද කියා සිටියා.

ඇමැතිවරයා මේ බව පැවසුවේ, ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පැවති වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

එහි දී මෙරට පෙර පාසල් අධ්‍යාපනය අන්තර්ජාතික තලයට සමාන්තරව, විධිමත් ලෙස ප්‍රමිතිගත කිරීමේ දී ‘පෙර පාසල යනු ‘පාසල් යෑමට පෙර යන තවත් පාසලක්’ ය, යන ආකල්පය සහමුලින් ම වෙනස් කළ යුතු ව ඇති බව පැවසූ ඇමතිවරයා, මෙරට පාසල් පෝෂණ වැඩසටහන සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් කියා සිටියේ, 2023 වර්ෂයට සාපේක්ෂ ව සමස්ත ශිෂ්‍ය ගහණයෙන් වැඩි සිසුන් පිරිසකට දිවා ආහාර ලබාදෙමින්, මේ වන විට දිවා ආහාර ප්‍රතිලාභ ලබන සිසුන් සංඛ්‍යාව 2024 වර්ෂයේ දී වැඩි ප්‍රතිශතයකින් ඉහළ නංවන බවයි.

එසේ ම දරුවන්ට පොත්පත් පාසලේ තබා නිදහසේ නිවසට ගිය හැකි පරිදි, අනවශ්‍ය බරකින් යුත් පාසල් බෑගයක් ඔසවාගෙන යෑමේ අවස්ථා නැති කර, ගුරු-සිසු සැමට ප්‍රබෝධජනක ලෙස පන්ති කාමරය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නියැලීමේ අවකාශ උදා කරලීමට ක්‍රියා කරන බවත් පැවසූ ඇමැතිවරයා, මුදල් ගෙවා සපයන අධ්‍යාපනයක් සමග නිදහස් අධ්‍යාපනය සැසඳීමේ දී එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු බව ද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: