hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 05, පෙ.ව. 4:14



ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන රට වන්නේ රුසියාවයි.

එම මගීන් ගෙන් වැඩි පිරිසක් රැගෙන යන ගමනාන්තය වන්නේ කටුනායකයි.

මෙලෙස රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන්තොටුපල අතර සෘජු ගුවන් ගමන් බහුතරයක්ම සිදු කරන්නේ රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවයයි.

මෙවැනි පසුබිමක පසුගිය 03 වනදා සංචාරකයින් ඇතුළු මගීන් පිරිසක් සමග කටුනායක සිට රුසියාවේ මොස්කව් නුවර බලා ගුවන් ගතවීමට නියමිතව තිබූ එරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් A330 ගුවන් යානය අධිකරණ නියෝගයක් මත රඳවා ගැනීමට ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කර තිබුණා.

අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ සිද්ධියක් හේතු කොට ගෙන කොළඹ වාණිජ අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මෙලෙස මෙම ගුවන් යානය රඳවා ගත් බවටයි මූලික ලෙස අනාවරණය වුණේ.

අදාළ ගුවන් යානය ඇතුලු තවත් ගුවන් යානා රැසක් අයර්ලන්ත සමාගමක් විසින් රක්ෂණය කර ඇති අතර හදිසියේ ඇති වූ යුක්‍රේන රුසියානු යුධ ගැටුම් හේතුවෙන් අදාළ වාරික ගෙවීම ගැටලු සහගත වී තිබෙනවා.

මෙයට විසදුමක් ලෙස රුසියානු ගුවන් සේවයේ එරට රක්ෂණ ආයතනයක් මගින් සිය සියලු ගුවන් යානා ප්‍රතිරක්ෂණය කර ඇති අතර ඒ පිළිබඳව අදාල රක්ෂණ ආයතන මෙන්ම සේවා සපයන සියලු රටවලට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

රුසියානු රජය ශ්‍රී ලංකාවට ද දැනුම් දී ඇත්තේ වාරික හෝ රක්ෂණ ගැටළුව හේතුවෙන් රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමත් සිදු නොකරන ලෙසයි.

කෙසේ වෙතත් අයර්ලන්ත රක්ෂණ සමාගම අදාල වාරික නොගෙවීම හේතුවෙන් කොළඹ වාණිජ මහාධිකරණය වෙත පැමිණිලි කර ඇති අතර එහිදී මහාධිකරණය විසින් නියෝග කර ඇත්තේ අදාළ ගුවන් යානය මෙරටින් පිට වීම වැලැක්වීමටයි.

ඒ අවස්ථාවේ දී අදාළ ගුවන් යානයේ සිටි මගීන් සියලු දෙනාම ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් මෙරටට සංචාරකයන් ලෙස පැමිණි පුද්ගලයින්.

මේ අතර රුසියානු එරෝෆ්ලෝට් ගුවන් යානයට මෙරටින් පිට වීම වළක්වාලමින් පනවා තිබෙන වාරණයට අනුව කොළඹ වාණිජ මහාධිකරණයේ මෝසමක් මගින් ඊයේ කැඳවනු ලැබුවා.

එහිදී කටුනායක ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ ගුවන් පාලක වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමිත් ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ පැවසුවේ ජාත්‍යන්තර ගුවන් යානා වලට අවශ්‍ය පහසුකම් සැලසීමට සිවිල් ගුවන් සේවා ගුවන්සේවා අධිකාරිය අධ්‍යක්ෂවරයාට නීතියෙන් බලය පැවරී තිබෙන බැවින් මෙවැනි වාරණ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කිරීමෙන් පසු අධිකරණයේ පිස්කල්වරයා ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් ගුවන් යානයේ ගමන අත්හිටුවන ලෙස දන්වා තර්ජනය කර තිබෙනවා බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

එහිදී මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ප්‍රකාශ කළේ මෙම් නඩුකරය හරහා කටුනායක ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ගමන් පාලක පාලකවරයා වෙත වාරණ නියෝග කිසිවක් නිකුත් කර නොමැති බවයි.

මෙම ගැටළුව හේතුවෙන් අදාළ ගුවන් යානයේ සිටි පිරිසට ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව පෙන්වා දුන් එරෝෆ්ලෝට් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ පැමිණිලිකාර සමාගම ඉදිරිපත් කළ පදනම් විරහිත කරුණු සැලකිල්ලට ගෙන මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බැවින් ඒ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබද විභාගය මේ මස 8 වනදා කැදවීමටයි අධිකරණය නියෝග කළේ.