hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 17, පෙ.ව. 9:28



ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී  ලංකාවේ සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් වාර්තා කර තිබූ වැරදි දත්ත නිවැරැදි කරන ලෙසට එම සංවිධානයට දන්වා යැවූ බව මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක මහතා ඊයේ (16) පැවැසුවා.

ශ්‍රී  ලංකාව සියදිවි නසාගැනීම් අතින් ලෝකයේ 30 වැනි ස්ථානයේ සිටියද පළමු රටවල් තුන අතරට ශ්‍රී  ලංකාව ඇතුළත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදි දත්ත සකස් කර තිබූ බවට අධ්‍යක්ෂවරයා චෝදනා කළා.

ඒ අනුව කඩිනමින් නිවැරදි කිරීම් සිදුකරන ලෙසට දැනුම් දුන් බව පැවැසූ හෙතෙම ලෝකයේ රටවල් අතර ලංකාවේ ස්ථානයේ වෙනසක් ඇතිවුවද සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව අඩුවී නොමැති බවද ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී  ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති වැඩමුළුවක් අමතමින් රොහාන් රත්නායක මහතා මේ බව සඳහන් කළා.

දැනට ශ්‍රී  ලංකාවේ පැය හතරකට එකක් වශයෙන් සියදිවි නසා ගැනීම් වාර්තා වන බව පැවැසූ අධ්‍යක්ෂවරයා ඒ ආකාරයට 2022 වසරේදී පිරිමි 2833ක් හා කාන්තාවන් 574 දෙනකු සියදිවි නසාගෙන තිබෙන බව පැවැසුවා.

එම වසරේදී ආර්ථික අවපීඩනය හේතුවෙන් ඇඟලුම් කම්හල් ආශි්‍රතව සියදිවි නසාගැනීම් වැඩිවීමක් සිදුව ඇති බවත්, ඒ අනුව  ගම්පහ දිස්ත්‍රික්කයේ සියදිවි නසාගැනීම්වල අසාමාන්‍යතාවක් පෙන්නුම් කරන බවත් හෙතෙම සඳහන් කළා.

සියදිවි නසාගැනීම්වලින් සියයට 66ක් හැඟීම්වලට යටවීමෙන් ඊට පෙලඹී ඇතැයි පැවැසූ හෙතෙම කෘමිනාශක භාවිතයෙන් සියයට 18ක් ජීවිත හානි කරගෙන තිබෙන බව සඳහන් කළා.

මුදල් ගැටලු, මානසික රෝග, ඇල්කොහොල් භාවිතය, එකිනෙකා අතරේ සබඳතා බිඳවැටීම, පවුල් අර්බුද, පහරදීම්, බෙලහීනතාවන්, නිදන්ගත වේදනා හා රෝග වැනි හේතු මත වැඩි වශයෙන් වයසක පිරිමින්, තරුණියන්, සිරකරුවන්, සමලිංගිකයන්, ලිංගික විපර්යාසවලට ලක්වූවන් කෘමිනාශක භාවිතය, එල්ලී දිවි හානිකර ගැනීම, ඔෟෂධ වර්ග භාවිතය වැනි විවිධ ක්‍රමවලින් සියදිවි නසාගෙන තිබෙන බවද රත්නායක මහතා කියා සිටියා.

2020, 2021, 2022 වර්ෂවලදී ජනගහනයෙන් ලක්ෂයකට සියයට 15.6ක් වශයෙන් සියදිවි නසාගැනීම් වාර්තා වන බවත්, සියදිවි නසාගැනීම් එකට විස්සක් ලෙසින් ඊට තැත්කිරීම් වාර්තා වන බවත් හෙතෙම ප්‍රකාශ කළා.

පසුගිය වසරේදී සියදිවි නසාගැනීමට උත්සාහ කළ 90000ක් අවසන් මොහොතේ එම තීරණය වෙනස්  කරගෙන තිබෙන බවද අධ්‍යක්ෂවරයා පැවැසුවා.

ලෝකයේ දැනට තත්පර 40කට එකක් වශයෙන් සියදිවි නසාගැනීම් වාර්තා වන බව පැවැසූ හෙතෙම එය වසරකට ලක්ෂ 08ක් වන බවත් පවසා සිටියා.

සියදිවි නසාගැනීම් සිදුකරන පුද්ගලයන් හදුනා ගැනීමට හා එහිදී කෘමිනාශක නිවැරැදිව භාවිත කරන ආකාරය දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දිස්ත්‍රික්ක 15ක පුහුණු වැඩසටහන් සිදුකළ බවද රොහාන් රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.