hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:01



කොවිඩ් වසංගත සමයේ නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගේ අදහස් විමසීමකින් තොරව කපා ගන්නා ලද ඔවුන්ගේ දෛනික වැටුප් මුදල් නොවැම්බර් මස 30 වනදාට පෙර යළි ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගේ අදහස් විමසීමකින් තොරව ඔවුන්ගේ දිනක වැටුප කපාගැනීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් ගත් තීරණයට එරෙහිව ලංකා ගුරු සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම ප්‍රතිඥාව ලබාදුන්නා.

ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කරගත් විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමටද තීන්දු කළා.

පෙත්සම ගොනුකළ ලංකා ගුරු සංගමය කියා සිටියේ කොවිඩ් වසංගත සමයේ නැගෙනහිර පළාතේ සේවය කළ රජයේ සේවකයින්ගේ දෛනික වැටුප කපා ගන්නා ලෙස දන්වමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් විසින් චක්‍රලේඛයක් නිකුත් කළ බවයි.

ඒ අනුව නැගෙනහිර පළාතේ සේවය කළ ගුරුවරුන්ගේ දිනක වැටුප ඔවුන්ගේ අදහස් විමසීමකින් තොරව කපාගැනීමට  කටයුතු කළ බවත් ලංකා ගුරු සංගමය චෝදනා කළා.

ගුරුවරුන්ගේ අදහස් විමසීමකින් තොරව ඔවුන්ගේ මුදල් කපා ගැනීම සම්පූර්ණම නීතියට පටහැනි බවත් ඒ තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: