hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:33



ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන තිලිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ලේඛනයක තමාගේ නම ද ඇතුළත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකර සමාජ මාධ්‍යට අසත්‍ය ප්‍රචාර කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (09) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

සමාජ මාධ්‍යයේ පළකර තිබෙන අසත්‍ය ප්‍රචාර නිසා තම නිවෙස්වල පවා ගැටලු මතුවන බවත් ඒ මහතා පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පැවසුවා.

ප්‍රචාරය කළ නම් ලැයිස්තුව දෙස බැලීමේදී පසුගිය වකවානුව තුළ ආණ්ඩුව දැඩිව විවේචනය කළ දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි, හේෂා විතානගේ ඇතුළු පිරිසකගේ නම් ප්‍රචාරය කර තිබීම විශේෂත්වයක් බවත් ඔහු සඳහන් කළා.

මෙම ලැයිස්තුවට මැතිවරණ කාලවලදී රුපියල් කෝටි ගණන් වියදම් කළ අයගේ නම් ප්‍රචාරය වී නොමැති බවත් මෙම අසත්‍ය ප්‍රචාරක කටයුතු එක්තරා දේශපාලකයකු සහ කලාකරුවකු මැදිහත්ව සිදු කරන්නට ඇති ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇති බවත් ඔහු කියා සිටියා.

තිළිණි ප්‍රියමාලිට මුදල් දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය ගෙනගිය පුද්ගලයන් කවුද යන්න විමර්ශනයක් සිදු කිරීමෙන් දැනගත හැකි බව ද මෙම අසත්‍ය ප්‍රචාරය හුවමාරු කරගත් පිරිසගෙන් මේ සම්බන්ධව විමර්ශන සිදු කළහොත් ඔවුන්ට එම ප්‍රචාරය ලැබුණු මූලාශ්‍ර සොයා ගැනීමට ද පහසු බව ද ගම්මන්පිල මහතා සඳහන් කර සිටියා.

මෙම අසත්‍ය ප්‍රචාර නතර කිරීම සඳහා පොලිස් විමර්ශන සිදු කිරීමෙන් සැකකරුවන් හඳුනාගැනීම මෙන්ම මුදල් ලබාගත් බව කියන සත්‍ය නම් ලැයිස්තුව හෙළි කිරීමට ද පොලිසියට හැකිවනු ඇතැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: