hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 29, ප.ව. 3:07



සෑම දෙයකටම විරුද්ධ වීම විපක්ෂයේ කාර්යයක් වුවත් රටට හිතකර තීරණවලට පක්ෂවීම හා අහිතකර දෙයට විරුද්ධවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රටට හිතකර අය වැයක් ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ නම් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ නොවන බව එම පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවරදී ඊයේ (29) පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අධික විදුලි බිල මෙන්ම දරා ගත නොහැකි ජීවන වියදම පිළීබදව සිය පක්ෂය මනා අවබෝධයෙන් පසුවන බව කී ඒ මහතා ඉන්ධන, ගෑස් ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිමේ රැදී සිටීමට ජනතාවට සිදුවූ බව ද සිහිපත් කළා.

නමුත් අද එවැනි වාතාවරණයක් නොමැති නමුත් ජීවන වියදම පහත හෙළීම පිළිබදව පක්ෂයේ දැඩි අවදානය යොමු වී ඇතැයි ද සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් මෙන්ම බිම් මට්ටමමේ හිටපු ක්‍රියාකාරීන් පවා යළි ඒක රාශී කිරීම අපේක්ෂාවක් යැයි කී ඒ මහතා කිසිදු පක්ෂයකට නොමැති දීප ව්‍යාප්ත සංවිධාන ජාලයකින් මෙම පක්ෂය සමන්විත යැයි ද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගමට ගෙනයාම සඳහා මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා වූ බවත් පාර්ලිමේන්තු මහජන නියෝජිතයන් රැසකගේ මූලාරම්භය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන නිසා ඔවුන්ගේ දායකත්වය ද පක්ෂය වෙනුවෙන් ලබා ගත හැකි යැයි හෙතෙම කියා සිටියා.

අඩු වෙමින් වැඩි වෙමින් විවිධ අභියෝගවලට මුහුණ දෙමින් වැටි වැටී නැගිටින පක්ෂයක් ලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදින්විය හැකි යැයි කී ඒ මහතා තව දුරටත් මෙසේ ද ප්‍රකාශ කළා.

ගම් මට්ටමේ සිටින පාක්ෂිකයන් රැස් කොට, ආසන බල මණ්ඩල, දිස්ත්‍රික් බල මණ්ඩල පවත්වා ඉදිරි වර්ෂයේදී පැවැත්වෙන සියලුම මැතිවරණවලට අප සාර්ථකව මුහුණදීමට සූදානම්. උතුර නැගෙනහිර දකුණ බටහිර යා කෙරෙන වෙන කිසිදු පක්ෂයකට නොමැති දැවැන්ත සංවිධාන ජාලයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමන්විතයි.

“පක්ෂයේ අඩු කිරීම් නැහැ. අඩු කිරිමේ ලකුණ ඉවත් කොට එකතු කිරිම ඉදිරියේදී මෙම පක්ෂය තුළ සිදුකරනවා. තව පිරිස් එකතු කර ගැනීම පමණයි සිදුකරන්නේ සිටින අය අඩු කිරිමක් සිදුකරන්නේ නැහැ. දේශපාලනයේ මහ ගෙදර වන මෙම පක්ෂයට චෝදනා තිබෙන අය හැර අනිත් අයට විවෘතයි. චෝදනා සහිතවූවන්ට පැත්තකට වෙන්න වෙයි. තැන් තැන් වලට ගියත් අවසානයේ එන්න තිබෙන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. සන්ධානයක්, එකඟතාවයක් ඉදිරියේදී ගොඩ නැගුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අවස්ථාවක තවත් පක්ෂයක වල්ගයක් බවට පත් වෙන්නේ නෑ. පසුගිය කාලවදී විවිධ සිදුවීම් සිදුවවත් ශක්තිමත් පක්ෂයක් වශයෙන් තවත් පක්ෂයක එල්ලිමට අපේක්ෂා කරන්නේ නෑ.

ඉදිරියේදී ශක්තිමත් ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහිත සන්ධානයක් බිහිවු‍වොත් එහි නායකත්වය මෙම පක්ෂයට ලබා ගන්නවා. ඒ සඳහා පක්ෂය තව දුරටත් ගම්මට්ටමින් ශක්තිමත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැති තැනක ආණ්ඩුවක් නෑ. සියලු දෙනාගේ දේශපාලනයේ මූලාරම්භය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.බංකොලොත් වූ රටක සිටින විපක්ෂයක් රටට හිතකර ක්‍රියාවන්ට සහය ලබාදී රට ගොඩ ගැනීමට ක්‍රියා කළ යුතු වුවත් වංචාව දූෂණය වැළැක්වීමට රජය ගෙන ආ පනතට ද විපක්ෂය විරුද්ධ වුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  තුළ එවැනි විරුද්ධවීම් නැහැ.” යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: