hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 16, පෙ.ව. 7:26



අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර පැවැත්වීමට තිබූ හමුවක් ඊයේ (15) හදිසියේ අවලංගු කිරීම හේතුවෙන් එම හමුවට සහභාගී වූ පළාත් පාලන නියෝජිතයින් මහලේකම්වරයාට දැඩි අප්‍රසාදය පළ කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ඊයේ (15) අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවකදී පෙරවරු 9.00 ට පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම හමුව හදිසියේම අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

රැස්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇතැම් අපේක්ෂකයින්ට දුරකථන මාර්ගයෙන් ආසන සංවිධායකවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති නමුත් ඇතැම් අපේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් නොවීම හේතුවෙන් ඊ‌‌යේ (15) අදාළ උත්සව ශාලාව වෙත පැමිණ සිටියා.

උත්සව ශාලාව රැස්වීම සඳහා සූදානම් කර තිබූ අතර, පැමිණි අපේක්ෂකයින් රැස්වීම සම්බන්ධයෙන් උත්සව ශාලාවේ කාර්යාලයෙන් විමසීමකදී කියා සිටියේ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද මහතා විසින් රැස්වීම සඳහා උත්සව ශාලාව වෙන් කිරීමක් කළ බවත්, පෙරේදා (14) රැස්වීම අවලංගු කරන බවට දුරකථනයෙන් දැනුම් දුන් බවයි.

මෙම  රැස්වීම සඳහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දයාසිරි ජයසේකර මහතා සහභාගී වීමට නියමිත බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ පසුබිමික, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් පිරිසගෙන් බහුතරයක්ද රැස්වීම වර්ජනය කිරීමට සූදානම් වී සිටි බැවින් දයාසිරි ජයසේකර මහතා රැස්වීම අවලංගු කරන ලෙස හදිසියේම දන්වා ඇතැයිද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

රැස්වීමට සහභාගී වීමට අපේක්ෂාවෙන් පැමිණි  අනුරාධපුර මහ නගර සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙවර පළාත් පළාත් පාලන අපේක්ෂක, ජේ.එම් සමන් ප්‍රියන්ත ජයවර්ධන මහතා,   “අද අපේ මහලේකම්තුමා, සාකච්ජාවක් තියෙනවා කියලා දැනුම්වත් කළා, මෙතන්ට ඇවිත් බලද්දී කිසිම කෙනෙක් නෑ, එන්නේ නෑ කියලා පණිවිඩයක් දුන්නෙත් නෑ, අපේ ආසන සංවිධායකතුමා අපිව දැනුම්වත් කළා අද රැස්වීමක් තියෙනවා කියලා අපේ සියලුම අපේක්ෂකයින්ගෙන්, හැබැයි නෑ කියලා දැනුම්වත් කළේ නෑ,”

එහිදී අදහස් දැක්වූ නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය සභා අපේක්ෂක සමන් විජේතුංග මහතා,

“අපේ මහලේකම්තුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයින්ට රැස්වීමක් තියෙනවා කියලා කැඳවීමක් කළා අද (15) උදේ 09.00 ට, හැබැයි අපි ඇවිල්ලා බලද්දී කිසිම කෙනෙක් නෑ, ශාලාව සූදානම් කරලා තියෙනවා. ඊයේ(14) රෑ තමයි උත්සව ශාලාවට කියලා තියෙන්නේ රැස්වීම නෑ කියලා.මේ වැඩ නිසා අපි අසරණ වෙනවා.අපිට කැන්වසින් යන්න තියෙන වෙලාවේදී තමයි මේ රැස්වීමට එන්න ආවේ, අපේ පක්ෂයේ මහ ලේකම්තුමාගේ පණිවිඩය අහගෙන යන්න ආවේ, මම නැගෙනහිර නුවරගම් පලාත් ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක්, අපේ ආසන සංවිධායකතුමා මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලනවා කියලා අපේක්ෂකයින්ගෙන් අත්සන් කරගෙන හෙලිකොප්ටරයෙන් ඒ නාමයෝජනාව භාර දුන්නා, එහෙම අසරණ කරද්දී මහලේකම්තුමත් අපේ පාක්ෂිකයෝ, අපේක්ෂකයෝ අතරමන් කිරීමක්ද කියලා ගැටලුවක් තියෙනවා.මොකද මහ ලේකම්තුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි කුරුණෑගල ඉල්ලන්නේ, වෙනත් පක්ෂයක් දිනවන්න අපිව අසරණ කරනවාද කියලා ගැටලුවක් තියෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා පක්ෂයේ අපේක්ෂකයෝ පරද්දන්න වැඩ කරනවා කියලා අපිට හැගෙන්නේ, ඡන්ද උණුසුම තියෙද්දී, අපේක්ෂකයෝ දැනුම්වත් නොකර රැස්වීම් අවලංගු කරද්දී, අපේක්ෂකයෝ අසරණ වෙනවා.මහ ලේකම්තුමා අපිව මඟ ඇරලා ගියා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ.අපේක්ෂකයින්ට මුහුණ දෙන්න බෑ නම් මහලේකම්තුමාට අපි ගැනම දුකයි” යැයි පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: