hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 6:49



පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා “තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ” සභාපතිවරයා ලෙස පසුගියදා තේරී පත්වුණා.

ඒ “තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයක්” නව වැනි පාර්ලිමේන්තුව සදහා ස්ථාපනය කිරීමට පැවති රැස්වීමේදීයි.

සභාපතිවරයා ලෙස හේෂා විතානගේ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යෝජනා කළ අතර පාර්ලීමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහ එස් .එම් මරික්කාර් යන මහත්වරුන් විසින් ස්ථිර කර තිබෙනවා.

තවද නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස මංජුලා දිසානායක, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරයන් තේරී පත්වුණා.

සංසදයේ නව සභාපති හේෂා විතානගේ මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටි‍යේ තරුණයන්ගේ අපේක්ෂාවන් මෙන්ම ගැටලු සදහා ඉදිරියේදී සක්‍රීය ලෙස මැදිහත් වීමට මෙම සංසදය අපේක්ෂා කරන බවයි.  

රටෙහි ප්‍රතිපත්ති හා නීති සම්පාදනය ඇතුළු කටයුතුවලට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ප්‍රවර්ධනය සඳහා සංසදය මගින් ක්‍රමවත් වැඩපිළිවෙලක් යෝජනා කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දක්වමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පවසා සිටියේ තරුණ ප්‍රජාව තුළ විශ්වාසයක් ගොඩ නැගෙන පරිදි කටයුතු කළයුතු බවයි.

පාර්ලිමේන්තුව තුළ තරුණ නියෝජනය වැඩි කිරීමට මෙන්ම දේශපාලන පක්ෂ තුළ තරුණ නියෝජිතයන්ට වැඩි අවස්ථාවක් ලබා දීම සදහා ඇති අවශ්‍යතාව පිළිබඳව ද පළාත් පාලන ආයතන, පළාත් සභා මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ සදහා තරුණ නියෝජනය සදහා වැඩි අවස්ථාවක් ලබාදීමේ අවශ්‍යතාවද මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දුන්නා.

එසේම පාර්ලිමේන්තුවේ කාරක සභා සදහා තරුණ නියෝජිතයන් සම්බන්ධ කර ගැනීම හරහා පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය සඳහා තරුණ දායකත්වය ලබා ගැනිමේ ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමුවුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: