hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 03, ප.ව. 6:56



පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවෙකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (02) පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමින්‍.

නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළා.

මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථිකය අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට කටයුතු කළ බවත් සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“මේ මොහොත වන විට අපි රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තිබෙනවා.මේ ස්ථාවරභාවය කෙටිකාලීන දෙයක් පමණක් බව අපට වැටහෙනවා. එබැවින් මෙම අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ දුර යා යුතුව තිබෙනවා . මීට මාස දහයකට පෙර මේ රටේ සමස්ථ ආර්ථියකම දැඩි අභියෝගයකට ලක් වුණා. එවැනි තත්ත්වයක් මිට පෙර රට තුළ ඇති වී තිබුණේ නැහැ. නීතිය හා සාමය ,දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථීක ස්ථාවරත්වය යළි රට තුළ ඇති කිරීමට අප ඉකුත් මාස 10 තුළ කැපවී කටයුතු කළ ද ඉන් අදහස් වන්නේ අප ආර්ථික අර්බුදයෙන් මුළුමනින් මිදී ඇති බව නොවෙයි. තවමත් අපේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී තිබෙනවා. පාර්ලිමේන්තුව වේවා, අධිකරණය වේවා, ජනමාධ්‍ය වේවා, පෞද්ගලික අංශයේ පිහිටුවා ගත් වෘත්තීය සමිති වේවා, වෘත්තීකයන් වේවා, අපේ රටේ අති බහුතරයක් ජනතාව සහ රාජ්‍ය පාලකයන් අතර සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැහැ.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: