hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 27, ප.ව. 3:01



අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසරකුත් දින 225ක් සිරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ජනාධිපතිවරයා විසින් දෙනු ලැබූ පොදු සමාවක් අනුව ඊයේ (26) නිදහස හිමි වුණා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවට හා ඒ පිළිබඳව තමා අධිකරණයෙන් හා සියලු විනිසුරුවරුන්ගෙන් සමාව අයැද සිටින බවට මෙන්ම අධිකරණයට අපහාස වන ප්‍රකාශ මින් ඉදිරියට නොකරන බවට සඳහන් දිවුරුම් ප්‍රකාශයක් රන්ජන් රාමනායක මහතා විසින් පසුගිය 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබීම සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා ඔහුට එසේ නිදහස ලබාදීමට තීරණය කර තිබුණා.

නිදහස් කිරීමට අදාළ ලිපිය ජනාධිපතිවරයාගේ හා ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසු ඊයේ (26) පස්වරුවේ බන්ධනාගාරය වෙත භාරදීමෙන් පසුව ඔහුට නිදහස හිමි වුණා.

නිදහස හිමි වීමෙන් අනතුරුව පෙරේදා පස්වරු 2.30ට පමණ රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණි රන්ජන් රාමනායක පිළිගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලකයන්, කලාකරුවන්, හිතමිත්‍රාදීන්, විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටි අතර පැමිණ සිටි පිරිස අත්පොළසන් හා ජයඝෝෂා නඟමින් රන්ජන් රාමනායක මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා.

පැමිණ සිටි ජනතාවගේ උණුසුම් පිළිගැනීමක් හමුවේ එම ස්ථානයේ කෙටි වේලාවක් ගත කළ රාමනායක සියලු දෙනාට දෑත් ඔසවා ආචාර කළ අතර තමන්ට නිදහස ලබාදුන් ජනාධිපතිවරයාට හා අධිකරණ අමාත්‍යවරයාට සිය ස්තූතිය ප්‍රකාශ කරන බවද ඔහු එහිදී පැවසුවා.

මියයෑමට පෙර තමා නැවත දේශපාලනයට පැමිණෙන බවත් ස්වාධීනව සෑමදාම ජනතාවගේ පැත්තේ සිටින බවත් බවද සඳහන් කළා.

පක්ෂ මාරු කිරීම හෝ කඩේ යෑම මගේ සිලබස් එකේ නෑ. මම බිය වෙලත් නැහැ.” යනුවෙන්ද ඔහු අදහස් දක්වා සිටියා.

එම ස්ථානයෙන් පිටව ගිය රන්ජන් රාමනායක මහතා විපක්ෂ නායකවරයා ඇතුළු සමඟි ජන බලවේගය පක්ෂයේ දේශපාලනඥයන් කීපදෙනකුද සමඟ ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ආශීර්වාද ලබාගත්තා.

පසුව විපක්ෂ නායකවරයා සමඟ රන්ජන් රාමනායක මහතා කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී  මාධ්‍ය හමුවකට එක් වී සිය අදහස් ඉදිරිපත් කළා.

ඉන්පසු නැවත වරක් කම්කරු හා විදේශිය රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් රන්ජන් රාමනායක මහතා පිළිගැනීමේ උත්සවයක් පවත්වනු ලැබුවා.

රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ රාමනායක මහතා වෙනුවෙන් තමා සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තම වියදමෙන් ජිනීවා ගොස් රාමනායක මහතා නිදහස් කර ගැනීමට කටයුතු කළ බවයි.

ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතා ඇත්ත තත්ත්වය පැහැදිලි කරමින් සඳහන් කළේ මනුෂ නානායක්කාර මහතා සහ හරින් ප්‍රනාන්දු මහතා තමන් නිදහස් කර ගැනීම සඳහා මූලිකත්වය ගත් බවයි.

“හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර තමයි මුලින්ම මා වෙනුවෙන් සටන් කරන්නට ඉදිරියට ආවේ. අනිත් බොහෝ කට්ටිය කිව්වා මේක නැෂනල් ඉෂූ එකක් නෙවෙයි කියලා.මේ දෙදෙනා මා වෙනුවෙන් විසා හදාගෙන ජිනීවා ගියා. ඒ ගියේ මේ දෙදෙනා පමණයි. පාර්ලිමේන්තුවේ හතලිස් ගාණක් හිටියා. ඒගොල්ලන්ගේ පොරොන්දු පත්‍රයේත් තිබුණා. ඔවුන් අද ඒ දේ ඉෂ්ඨ කරලා පෙන්නුවා. ඒ දේ මට අමතක කරන්න බැහැ. ඒ දේ කළේ ඔවුන්ම තමයි. ” යනුවෙන් රාමනායක මහතා අදහස් දක්වා සිටියා.

ඉන්පසු රාමනායක මහතා චෝදනාවක්ද සිදු කරමින් සඳහන් කළේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 40 ගාණක් සිටියත් හරීන් සහ මනුෂ නානායක්කාර යන අය පමණයි තමා සිරගත කළ අවස්ථාවේදී තමන්ගේ වියදමින් ජිනීවා ගොස් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු කළ බවයි.

ඒ හේතුවෙන් මනුෂ නානායක්කාර මහතා සහ හරින් ප්‍රනාන්දු මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ බවද සඳහන් කළා.

කෙසේවෙතත් හොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් රාමනායක මහතා පැවැසුවා.

රන්ජන් රාමනායක මහතා සමඟි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අතර මේ වන විට ඔහුගේ අදහස වෙනස් වී ඇති බව මාධ්‍ය වෙත දැක්වූ අදහස් වලින් ගම්‍ය වෙනවා.

එයට හේතුව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට වඩා මනුෂ නානායක්කාර මහතා සහ හරින් ප්‍රනාන්දු මහතා කළ මැදිහත් වීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා දැඩි විශ්වාසයකින් පසුවන බවයි.

ඒ අනුව විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක මහතා විසින් භාර ගනු ලැබුවා.

ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රන්ජන් රාමනායක මහතාට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කළා.

රන්ජන් රාමනායක මහතා ඔහු කලින් පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාසයට පෙර දින රාත්‍රියේ මනුෂ නානායක්කාර මහතා සහ ආධාරකරුවන් සමග ගිය අතර එහිදී මනුෂ නානායක්කාර මහතා අදාළ තනතුර නිල වශයෙන් පිරි නමා තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සමඟ යන දේශපාලන ගමන සම්පුර්ණයෙන් වෙනස් කර රාමනායක මහතා, මනුෂ නානායක්කාර මහතා සහ හරින් ප්‍රනාන්දු මහතා සමඟ දේශපාලන ගමනක් ආරම්භ කරයිද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: