hit counter

2026 නොවැම්‍බර් මස 17 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 18, පෙ.ව. 12:23



වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය හා සමාජයීය දර්ශක රැසක කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගනිමින් රටට ගෞරවයක් හා පදක්කම් හිමිකර දී ඇත්තේ නිසි සැලසුමකට අනුව කැපවීමෙන් ක්‍රියාකිරීම නිසා බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය අර්බුද සමයේ බිඳවැටී තිබූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරමින් අඛණ්ඩව විදුලිය, ඉන්ධන, ගෑස් මෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සහනාධාර ලබාදීමට රජය ප්‍රමුඛත්වය දුන් බවයි. 

එම මූලික අවශ්‍යතා සුරක්ෂිත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ විධිමත් ආර්ථික හා රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතන රැසක මිණුම් දඬුවලින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බව ඔහු පැවසීය.

විශේෂයෙන්ම ජාත්‍යන්තර ෆිච් ණය ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට ‘CCC+’ මට්ටමේ සිට ‘B-‘ මට්ටම දක්වා ඉහළට ඔසවා තැබීමට හැකිවූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ‘දූෂණ සංජානන දර්ශකය’ තුළ ශ්‍රී ලංකාව ස්ථාන 14 කින් ඉදිරියට පැමිණ 107 වැනි ස්ථානය තහවුරු කරගෙන ඇති බවත්, ගෝලීය සාම දර්ශකයේ ස්ථාන 14 කින් ඉදිරියට පැමිණ 67 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව, ලෝක ආර්ථික සංසදයේ වාර්තාවලට අනුව සංචාරක ආර්ථිකයේ වේගවත්ම සංවර්ධනයක් පෙන්වන ලොව ප්‍රමුඛතම රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබීම විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ 160 ක් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාමූහික මෙහෙයවීමෙන් මෙම ජයග්‍රහණ අත්පත් කරගත් බව පැවසීය. 

විපක්ෂය මෙම සත්‍යය පිළිගැනීමට මැළිකමක් දැක්වුව ද රටේ බහුතර ජනතාව මෙම ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: