hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:06



සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන සියලු ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිර්ණායක හතක් යටතේ මෙම පාසල් ශ්‍රේණිගත කිරීමට අදාළ ප්‍රතිපත්ති රාමුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බවයි පැවසෙන්නේ.

පරිපාලනය හා කළමනාකරණය, දරුවන් වෙනුවෙන් වන පහසුකම් හා ඉගෙනුම් පරිසරය, විෂය මාලා කළමනාකරණය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය, තක්සේරුකරණය හා ඇගයීම්, පාසල සමග මව්පියන් ඇතුළු ප්‍රජාවගේ සම්බන්ධතාව සහ සෞඛ්‍ය ක්‍රියාවලිය එම නිර්ණායක වනවා.

පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ මෙම නිර්ණායක සඳහා දෙන ලකුණු ක්‍රමයක් අනුව යි. මෙහිදී ගුරු මණ්ඩලවල අධ්‍යාපන සුදුසුකම් ද සොයා බලනු ලබයි.

ශ්‍රේණිගත කිරීමෙන් පසු ඒ ඒ පාසල් ලබන ශ්‍රේණිය තම දරුවන් අදාළ පාසල්වලට ඇතුළත් කිරීමේ දී දෙමව්පියන්ට ද වැදගත් වනවා.

තමන් සිය දරුවා ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරන පාසලේ ශ්‍රේණිය එම පාසලෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ ශාඛාවෙන් මව්පියන්ට ලබා ගැනීමට හැකි වීමද වැදගත්.

මේ අතර ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනම ඒකකයක් පිහිටුවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ ද එම ඒකකය මගින්.

ජාත්‍යන්තර පාසල් 395ක් පවතින අතර රජයේ ආධාර ලබන හා නොලබන පෞද්ගලික පාසල් 93 ක් වනවා.

පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව එක් ලක්ෂ තිස් අට දහසකට අධික වන අතර, ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අමාත්‍යාංශය සතුව නොමැති බවයි පැවසෙන්නේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: