hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 7:12



පෑන් කේක් කා ප්ලේන් ටී බොන ගමන් සවස් යාමය සුහද කතා බහකින් ගෙවා දමන්නට ඔවුනට හැකිවිය.

ඒ අතර හංසි තමාට යම් ප්‍රශ්නයක් ඇති බවත් ඒ සඳහා මේනකගේ උදව් අවශ්‍ය බවත් කීවාය.

මොකක්ද අනේ.. කියන්න මට,ඔයා වෙනුවෙන් නොකරන දේවල් තියනවද

මේනක හංසි දෙස බලමින් එසේ ඇසුවේ දැඩි උනන්දුවකින්..

මේක අපේ නංගී ගැන ප්‍රශ්නයක්.. ඔයා දන්නවනෙ අපේ නංගි සාමාන්‍යයෙන් කෙනෙක් කියනදෙයක් අහන්නෙ නැ,ඒත් එයා ඔයා කියන දේ අහයි කියලා හිතලයි ඔයාට මේක කියන්නෙ..” හංසි මේනක දෙස බලමින් එසේ පවසන විට චතූ ද හිස වනමින් එය අනුමත කළාය.

හරි කියන්නකෝ මොකක්ද දැන් වෙලා තියන්නෙ.. “

නංගී අපේ කැම්පස් එකේ පිරිමි ළමයෙක් එක්ක යාලු වෙලා…දුනිත් කියල ඔයා දන්නවා ඇති එයාව,නංගී දවස් කීපයක් ආවනෙ අයියේ අපේ කැම්පස් එකට..එතකොට තමයි දුනිත් මෙයාව දැකලා තියන්නෙ.මට හිතෙන්නෙම අපිට මුකුත් නොකීවට මේ දෙන්නා දැනටමත් යාලුයි,මොකක්මහරි තියනවා”

හංසි තරමක් සීරියස් වුවාය.

හසිනි ඉගෙනුම ලබන්නේ වෙනත් විශ්වවිද්‍යාලයකය.

නමුත් තම සහෝදරියගේ සරසවියේ ඇතැම් උත්සව අවස්තාවන්ට ඈද සහභාගී වීමට පුරුදුව සිටියාය.

දුනිත් යනු හංසිගේම බැජ් එකේ ඉගෙනුම ලබන පිරිමි ළමයෙකි.

ඉතිං.. ඇයි ඒකෙ වැරැද්දක් නෑනෙ… නංගිටත් කවුරුහරි ඉන්න එපැයි,අනික අපි දන්න කියන ඔයාගෙම බැජ් එකේම ලමයෙක්නෙ දුනිත් කියන්නෙ.. “

අයියේ ඔයා දන්නවාවෙ දුනිත් ගැන..එයා හැමදාම බොනවා..අනික මං නම් ඌට කැමතිම නෑ. මං විතරක් නෙමෙයි චතූලා උනත් කැමති නෑ..ඔයාට තේරෙනවනෙ එයාව නංගිට ගැලපෙන්නෙ නැ කියලා.නංගිත් මොන එහෙකට ඌත් එකක් කියවන්න ගියාද මංදා.

දිගින් දිගටම චතූ සහ හංසි දුනිත්ගේ හැසිරීම් සහ ගති ලක්ෂණ ගැන විවිධ අරථකතන දෙන්නට විය.

ඒ සියලු දේවල් වල අවසන් අරමුණ වූයේ කෙසේ හෝ මේනක ලවා හසිනිව දුනිත්ගෙන් ඈත් කිරීමය.

මේනක ගිරයට හසුවූ පුවක් ගෙඩියක් වන්නට විය.

එක් අතකින් හංසිගේ ඉල්ලීමට විරුද්ධ වන්නට ඔහුට නොහැකිය.

අනෙක් පසින් හසිනිත් තමන්ට තමන්ගේම සහෝදරියක් වැනිය.

ඒ හේතුවෙන් හසිනිගේ කැමැත්තට පිටුපාන්නවත් එයට එරෙහිව කටයුතු කිරීමටත් ඔහුට නොහැකිය.

ඒ සියල්ල අතර අනෙක් කාරණය නම් දුනිත් වු කලී තම ජූනියර් බැජ් එකේ ඔහු හොඳින්ම දන්නා හඳුනන ඔහුගේ මිතුරෙකි.

ඔයාලා කියන කතාව ඇත්ත..ඒත් නංගී මට ඇහුම්කන් දෙයිද,මං කියන දේවල් අහයිද, ඒ ඔක්කොමත් හරි මං ඔය ප්‍රශ්නෙ නංගි එක්ක කතා කරන්න ගිහින් එයා මාත් එක්ක තරහා වුනොත් එහෙම..අනික බබා නංගි මට විරුද්ධ වුනේ නෑනෙ.ඔයා මාත් එක්ක යාලු වුන එකට එයා ගොඩාක් සතුටු වුනා. මං කොහොමද එයාට එපා කියන්නෙ..”

මේනක ඉතා අසීරුලෙසින් හංසි ඉදිරියේ එලෙස පිළිතුරු දුන්නේය.

හංසිට ප්‍රශ්නය බැරෑරුම් වුනත් මේනකට එය එතරම් දෙයක් වූයේ නැත.

නමුත් අකමැත්තෙන් වුනත් තමන්ට මේ වෙනුවෙන් මැදිහත්වීමට සිදුවන බව නම් ඔහු නිසැකවම දැන සිටියේය.

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි හතර වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ විසි පස් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: