hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 19, ප.ව. 1:36



“මනමාලියක් වෙලා ගෙදරට එනවා දකින්න හිටපු මගේ රත්තරන් දුව මේ විදිහට මනමාලියක් වගේ ඇඳගෙන පෙට්ටියකින්  ගෙදරට එයි කියලා මම කිසිම දවසක හිතුවේ නෑ. මගේ රත්තරන් දුවේ” යනුවෙන් සාහසිකයකුගේ තියුණු ආයුධ ප්‍රහාරයකින්  ඝාතනයට ලක්වූ  කොළඹ සරසවියේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සරසවි සිසුවියගේ දේහය හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ නිවෙසට අද (18) සවස රැගෙන ආ අවස්ථාවේදී මියගිය සිසුවියගේ මව විලාප දෙමින් පැවැසුවා.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති තරුණියක්.

ඇය ඉකුත් (17) උදෑසන කොළඹ සරසවියේ අධ්‍යයන කටයුතු සඳහා  නිවෙසින් පිටව ගොස් පළමු දේශනයට සහභාගි වී පසුව ඔහුගේ පෙම්වතා බව පැවැසෙන පුද්ගලයකු සමඟ කොළඹ තුරඟ තරග පිටිය අසලට ගොස් කතාබස් කරමින් සිටියදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මෙසේ මිය ගොස් තිබුණා.

පසුව ඇයගේ මෘත දේහය මහෙස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කොට  පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18) දහවල්  සිදුකිරීමෙන් පසුව දේහය ඥාතීන්ට භාරදී තිබුණා.

ඒ අනුව මියගිය සරසවි සිසුවියගේ මෘත දේහය හෝමාගම දියගම ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍ය  ශාලාවකට රැගෙන විත් පසුව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ පිහිටි ඇයගේ  නිවෙසට විශාල පිරිසකගේ සෝ සුසුම් මැද රැගෙන විත් තිබෙනවා.

එම අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, කොළඹ සරසවියේ ආචාර්යවරුන් සිසු දරු දැරියන් ඥාතීන්, ප්‍රදේශවාසීන් ඇතුළු  විශාල පිරිසක් සහභාගි වී සිටියා. 

දේහය නිවෙසේ සාලයේ තැන්පත් කිරීමෙන් පසුව මියගිය චතුරි හංසිකා මල්ලිකාරච්චි  දියණියගේ මව  දේහය අසලට පැමිණ හඬා වැටෙමින් මෙසේද කීවා.

“අනේ මගේ රත්තරන් දුවේ, උදේ මට වැඳලා ගෙදරින් කැම්පස් ගියේ, නැවත මේ විදිහට එන්නද ඔයාගේ ඔය සුදු ලස්සන මූණ බලාගෙන මේ අපරාධය කොහොම කළාද දෙයියනේ. අවුරුදු විසි හතරක්  යනකම් මගේ රත්තරන් දුව  මම හැදුවේ වැඩුවේ මේ විදියට  දකින්නද මගේ දුවේ. ඔයා ලස්සන මනමාලියක් කරල ගෙදරට ගේන්නයි හිතාගෙන හිටියේ. ඒත් අද ඔයා ලස්සනට ඇඳගෙන මනමාලියක් වගේ පෙට්ටියකින් ආවෙ ඇයි මගේ පුතේ. මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ විධියට ඔයා ගෙදරට එයි කියල.

ඇයි අපිට මේ වගේ අපරාධයක් කරන්න හිතුණේ.  අපි මොන වරදක් කළාටද,  ඇයි දුවේ ඔයා  කට වහගෙන ඉන්නේ. ගෙදර ඉන්නකොට වගේ හිනාවෙලා ලස්සනට ඉන්නකෝ. මගෙ දුවේ ඇයි අම්මත් එක්ක තරහ වෙලාද  හිනාවෙන්නකො මගේ දුවේ කෝ එන්න කියන්න මගේ රත්තරන් බාල දුවට  ඔයාගේ අක්කා ඇවිල්ල ඉන්නවා බලන්න. එන්න කියන්න මගෙ රත්තරං පොඩි දුවේ අක්කගෙ මූණ බලන්න එන්න”

අම්මා විලාප නඟද්දී මියගිය සරසවි සිසුවියගේ බාල නැඟණිය දේහය අසලට පැමිණ විලාප නඟමින් හඬන්නට වීම කාගේත් සිත් සසල වන දසුනක් වුණා.

මේ අතර තවදුරටත් මව විලාප නඟමින් මෙසේද කීවා.

පොඩි දුවේ අක්කගෙ මූණ  අතගාන්න බලන්න අද අක්කගෙ මූණ  ලස්සනයි කෝ වෙනද වගේ අක්කා කතා කරන්නේ නෑනේ. බලන්න හයියෙන් හලෝ කියලා කතා කරන්න. අනේ මගේ පොඩි දුවේ අක්කට ඇහෙන්න හයියෙන් අඬන්නකෝ ඔයාගේ අක්කා ලස්සනට ඉන්නවා බලන්න දුවේ. අයියා අපට මෙහෙම අපරාධයක් කළේ දෙයියනේ”යනුවෙන් මියගිය සරසවි සිසුවියගේ මව හඬා වැටෙමින් පැවැසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: