hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 5:49



නොවැරදීවම දාහත් වැනිදා මහියංගණයට එන්න කියපු මගේ පුතා මාව දාලා ගිහින් කියලා මම කොහොම විශ්වාස කරන්න ද? මහියංගණ මාපාකඩ වැවේ ගිලී මරණයට පත් වූ මහියංගණය රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍ය ලක්ෂාන් තරිඳු විජේරත්න මහතාගේ මව ප්‍රියන්ති ජීවා ජයසේකර මහත්මිය හැඬූ කඳුළින් පැවසුවා.

ලක්ෂාන් සීමාවාසික වෛද්‍ය පුහුණුවට මාතලේ මහ රෝහලට ඇතුළත් වූයේ දක්ෂ වෛද්‍යවරයකු රටට බිහි වන බවට පෙර නිමිති ලකුණු කරමින්.

සීමාවාසික පුහුණුවෙන් පසු මහියංගණය මූලික රෝහලේ සේවයට පැමිණි ලක්ෂාන් එහි ප්‍රසව හා නාරිවේද අංශයට අනුයුක්තව රාජකාරි කළේ සියලු ජ්‍යේෂ්ඨ වෛද්‍ය හෙදි ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයන්හි ආදරය නොඅඩුව ලබමින්.

එසේ සිටින අතර ඉකුත් දාහතර වැනිදා සිය සගයකු සමඟ මාපාකඩ වැවේ දිය නෑමට ගිය ඔහු දැයට අහිමි වී ගියේ වෙල්ගාන ගම් ප්‍රදේශය ශෝකයෙන් මුසපත් කරවමින්.

ගමේ අතු පාරක් පාසා සුදු කොඩි වැල් ලෙළ දුන්නේ ගමට කීර්තියක් ගෙන එන්නට සිටි සහෘදයාගේ වියෝව කියාපාමින්.

ලක්ෂාන් තරිඳුගේ මව අප හා හඬ අවදි කළේ දැඩි ශෝකයෙන් යුතුවයි.

”මගේ පුතා මට දෙයියෙක්.. අපිව බලාගන්න හිටි පුතා අපිව දාලා ගියා කියලා මට විශ්වාස කරන්න බැහැ. පුතා මහියංගණය රෝහලේ සේවයට ගිහිල්ලා වසර දෙකක් විතර වෙනවා. තාත්තාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ මේ මාසයේ 17 වැනිදාටයි. පුතා මට කිහිපවතාවක්ම කතා කරලා කිව්වා අපි හතර දෙනාටම මහියංගණයට එන්න කියලා. තාත්තට එන්න බැරි වුණත් නොවැරදීම දාහත් වැනිදා මහියංගණයේදී අපි හමු වෙමු කියලයි පුතා මට කියල තිබුණේ. එහෙම තියෙද්දි පුතා මෙහෙම නොඑන ගමන් ගිහින් කියලා මම කොහොම විශ්වාස කරන්නද?

පහුගිය 14 හවස හතරට විතර මහා පුදුම දෙයක් වුණා. මම ගෙයි ඉන්දෙද්දි විශාල සද්දයක් ඉස්සරහින් ඇහුණා. මං හිතුවෙ වාහනයක් ඇවිත් නැවැත්තුවා කියලා. ඇවිල්ලා බැලුවහම කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ අතරේ මහත්තයා ගෙදරට ආවා. එයත් ඒ වෙලාවටම වගේ නොසිතූ විදිහට රිය අනතුරකට පත් වෙලා තිබුණා. පුතාට මේ විපත වෙච්ච වෙලාවෙම මේ කාරණා දෙකම සිද්ධ වුණා කියලයි මට දැන් හිතෙන්නේ. පුතා නොවැරදීම දාහත් වැනිදා අම්මේ අපි හමුවෙමු කියලා කිව්ව වගේම එයාගේ අවසන් ගමන් යන්න දාහත් වැනිදා ගෙදරට එනවා. ඒත් මගේ පුතා මාව දාලා ගියා කියලා විශ්වාස කරන්නේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: