hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:01



මුහුණු පොතෙන් මිතුරු වී ප්‍රේම සබඳතාවක් ඇති කර ගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදු කර පලාගිය පෙම්වතකු සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය පවසයි.

පාසල් සිසුවිය මේ වන විට මාස තුනක ගැබිණියක බවද පොලිසිය කියයි.

අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමට ඇගේ පියා මීට මාස හතරකට පමණ පෙර ජංගම දුරකතනයක් ලබා දී ඇතැයි පැවසේ.

ඒ හරහා ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නා අතරතුර දී මුහුණුපොතෙහි පිටුවක් අරඹා මිතුරන් හඳුනාගෙන ඇති අතර එසේ හඳුනාගත් මිතුරකු සමග ඉතා කෙටි කලකදී ප්‍රේම සබඳතාවක් ද පටන් ගෙන ඇතැයි පොලීසිය කියයි.

එසේ හඳුනාගත් පෙම්වතා පාසල් සිසුවිය තනිව හමු වීමට අවැසි බව අවස්ථා කිහිපයකදී පැවසුවත් ඊට අවස්ථාවක් ලැබී නොමැති අතර ඉකුත් අගෝස්තු පළමු වැනිදා සිසුවිය මහරගම පන්තියකට පැමිණ ඇතැයි පොලිසිය කල පරික්ෂණ වලින් හෙලි වී ඇත. එදින උපකාරක පන්තිය නිවාඩු දී තිබූ අතර ඒ බව පෙම්වතාට දැන්වීමත් සමග ඔහුගේ ඉල්ලීම පරිදි දෙදෙනා හමුවී පසුව නිවෙසකට ගොස් ඇතැයි පැවසේ.

එහි දින තුනක් පමණ රැඳී සිට ඇති අතර එහිදී සිසුවිය අතවරයට ලක් කර ඇති බව පොලීසිය පවසයි.

මේ අතරතුරදී සිසුවියන්ගේ මවු පියන් පොලීසියේ පැමිණිල්ලක් ද සිදුකර තිබූ අතර ඉන් දින කිහිපයකට පසුවට සැකකරු පාසල් සිසුවියද සමග ඇගේ නිවෙසට පැමිණ ඇතැයි පැවසේ.

එහිදී සිසුවියගේ මාපියන් දෙදෙනා දැක්වූ විරෝධය හේතුවෙන් නැවත සිසුවිය ද සමග සැකකරු හැඳල පමුණුව ප්‍රදේශයේ නිවසකට ගොස් ඇතැයි පැවසේ.

එහි රැඳී සිටින අතරතුරදී සිසුවිය ගැබිනියක බව දැන ගැනීමෙන් පසුව දෙදෙනා අතර බහින් බස් වීම් නිතර හටගෙන ඇති අතර අවස්ථා කිහිපයකදී සැකකරු සිසුවියට පහරදීම් ද කර ඇති බවත් එය වාවාගත නොහැකිව සිසුවිය නැවත සිය නිවසට පැමිණ මෙසේ පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බාලවයස්කාර දැරිය රඳවාගෙන සිටි ප්‍රදේශ භාර පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහතාගේ උපදෙස් මත පරික්ෂණ ක්‍රියාත්මක කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: