hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 19, පෙ.ව. 12:02



සාමාන්‍ය ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට විවිධ ආකාරයේ මානසික රෝග සහ මානසික තත්ත්වයන් තියෙන්න පුළුවන්. විශේෂයෙන් විකෘති මානසික මට්ටම් සහිත පුද්ගලයින් ඉන්න පුළුවන්. එවැනි පුද්ගලයෙක් ඔබේ ජීවන සහකරුවා වුණොත්ඔ

ව්.. මේ විකෘති ලිංගික ආශාවන් සහිත පුද්ගලයෙකුගේ බිරිඳක් කියන කතාවක්.

“මම හොඳින් යමක් කමක් තිබෙන වැදගත් පවුලක කාන්තාවක්. කිසිම අඟ හිඟකමක් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව හොඳ රැකියාවක් ලැබුණා. පාසල් කාලයෙවත් කැම්පස් කාලයෙවත් ප්‍රේම සම්බන්ධකම් තිබුණෙ නැහැ.

මෙලෙස සිටින අතරතුරේ මට විවාහ යෝජනාවක් ආවා. ඔහුත් උපාධිධාරියෙක්. පෞද්ගලික අංශයේ හොඳ වැදගත් රැකියාවක් කළ වැදගත් පුද්ගලයෙක්. හරිම නිහඬයි. තැන්පත්. වැඩි කතාබහක් නැහැ. යාළු මිත්‍රයන් ඇසුරකුත් නැහැ. නිවෙසේ සිටින විටදී පවා හරිම නිහඬයි. රැකියාවට අමතරව දහම් පාසලේ උගන්වනවා. බැඳපු අලුත වුණත් වැඩි ලිංගික ආශාවක් නැහැ. එකට එක්වෙන්නෙ ඉතාමත් කලාතුරකින්. එහි විවිධත්වයක් නැහැ. හරිම සම්ප්‍රදායානුකුලයි. විවාහය රසවත් ලෙස විඳ ගැනීමට වැඩි උනන්දුවක් නැහැ. අවුරුදු 2ක් යනතුරුම අපට දරුවෙක් නොහිටියේ ඒ නිසා වෙන්න ඇති.

වැඩිය පෙනෙන මිතුරු ඇසුරක් නැති වුණාට සැමියා හැමදාම වගේ යාළුවන් බලන්න යන බව කියා නිවසින් යනවා. එහෙම යන්නේ අපේ කාර් එකෙන්. ඒක ලස්සන පොඩි කාර් එකක්. සමහර දවස්වලට උදේ පාන්දරම යනවා. සමහර දවස්වලට හවසට යනවා. යහපත් පුද්ගලයකු නිසාත් කාන්තා ඇසුරට උනන්දුවක් නැති නිසාත් මට ඒ ගැන සැකයක් නැහැ. ඔහු මස් මාළු කන්නෙත් නැහැ. මට හරිම විශ්වාසයි.

එක දවසක හැන්දෑවෙ ඔහු යාළුවෙක් හමුවෙන්න ගියා. හදිසියෙම පොලිසියෙන් ගෙදරට ඇවිත් සැමියා අත්අඩංගුවට ගත් බව කීවා. මට අදහා ගන්න බැරිවුණා. මස් මාළු නොකන, දහම් පාසලේ උගන්වන උපාසකයෙක් වගේ ඉන්න සැමියා අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා මට ප්‍රශ්නයක් ඇති වුණා. පොලිසිය කිව්වෙ මට කොහොමවත් විශ්වාස කළ නොහැකි දෙයක්. සැමියා පාළු තැනක වාහනය නවතාගෙන පාරෙ යන කාන්තාවකට තම ලිංගේන්ද්‍රිය පෙන්වමින් ස්වයං වින්දනයේ යෙදෙමින් සිටින විට අත්අඩංගුවට පත්වුණු බව පොලිස් නිලධාරීන් හෙළි කළා.

ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීමේ චෝදනාවට නඩු පවරන බවත් උසාවියෙන් ඇප ලබාගත හැකි බවත් පොලිස් නිලධාරීන් කීවා. මං කොහොමද මෙය විශ්වාස කරන්නෙ? හිටි ගමන් මගේ ඔළුවට අහස කඩා වැටුණා වගේ වුණා. පොලිසියේ උපදෙස් පරිදි ඔහුට ඇප ලබා ගැනීමට පසුදා උසාවියට ඉදිරිපත් වුණා. මීළඟ නඩුවාරයට එනවිට මනෝ වෛද්‍ය වාර්තාවක් රැගෙන ඒමට උසාවිය නියෝග කළා.

මෙහෙම දෙයක් වෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. චරිතය ඉතාම යහපත් වුණත් මම දකින්නෙ සැමියා ගුප්ත චරිතයක් තිබෙන කෙනෙක් හැටියට. බඳින්න ඉස්සරත් බැන්දට පස්සෙත් මම ලොකු ලෙන්ගතු කමක් දැක්කෙ නැහැ. ටිකක් පහුවෙන විට සුළු සුළු වෙනස්කම් දුටුවා. මා ගැන වැඩි තැකීමක් නැතුව වගේ ඉන්නෙ. ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම කතාබහ කර ගෙනැවිත් දෙනවා. හැම දෙයක්ම හරි පිළිවෙළට තියෙන්නව ඕනෑ ඇඳුම් පැළඳුම් පිළිවෙළට තියෙන්න ඕනෑ. නාන්නෙ ගණන් කරලා. විනාඩි 20කදි නාලා අවසන් වෙන්න ඕනෑ. වෙලාවට නැගිටින්න ඕනෑ. වෙලාවට නිදාග න්න ඕනෑ. ඔක්කොම අකුරට. යමක් යම් තැනකින් තිබ්බොත් එතැනින් හොලවන්නෙ නෑ. මේ වගේ අමුතු ලක්ෂණ තිබුණා.

කාන්තාවන්ට පෙනෙන පරිදි තම ශිෂ්ණය ප්‍රදර්ශනය කරමින් ස්වයං වින්දනයේ යෙදීම විකෘති ආශාවක් බවට පොලිසිය සැක කළා. මීළඟ නඩු වාරයට පැමිණෙන විට මනෝ වෛද්‍ය වාර්තාවක් ගෙන ඒමට උසාවිය නියෝග කළ නිසා අප දෙදෙනාම මනෝ වෛද්‍ය සායනයකට යොමුවුණා. සැමියාට ලිංගික අවවර්තයක් තිබෙන බව එහිදී හෙළි වුණා. මනෝ වෛද්‍යවරයා ඔහුගෙන් බොහෝ දේ ප්‍රශ්න කළා.

මේ සිද්ධිය මට සමාජයට මුහුණ දීමට බැරි තරම් ගැටලුවක්. මෙවැනි සිද්ධි සැමියාට වයස අවුරුදු 18දී පමණත් මෙවැනි දේ සිදුවූ බව මනෝ වෛද්‍ය තුමාට හෙළි කර තිබුණා. ඒ කාලයේ ඔහු සැඟව සිට කාන්තාවන්ගේ පියයුරු සහ පිටුපස මිරිකා දිවගොස් තිබෙනවා. ඒ කාලෙ ගමේ මිනිසුන්ට අසුවී ගුටිකා තිබෙන බව සැමියා විසින්ම මනෝ වෛද්‍යතුමාට හෙළිකර තිබෙනවා. සමාජ ලජ්ජාවට මවුපියන් ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකර නෑ. වැඩිහිටියකු වනවිට එම තත්ත්වය මගහැරෙනු ඇතැයි මවුපියන් හිතාගෙන ඉඳලා.

සමහරුන්ට මෙවැනි මානසික තත්ත්වයක් හට ගන්නා බවත් එය ඇස්පර්ජස් සින්ඩ්‍රෝම් (ASPERAERS SYNDROM) යනුවෙන් හඳුන්වනු ලබනවා. ඊට අමතරව මගේ සැමියාට ග්‍රස්ත නියුරෝසියා ලක්ෂණ, සමාජශීලිත්වය අඩුකමේ ලක්ෂණත් තිබෙන බව මනෝ වෛද්‍යතුමා සොයාගන තිබුණා. මෙවැනි ගති ලක්ෂණ තිබෙන බොහෝ දෙනෙක් ආගම දහමට ලැදි ගතියක් පෙන්වන බව මනෝ වෛද්‍ය මතයයි. මිතුරන් ඇසුර අඩුවීම, විනෝදකාමී බව අඩුවීම සියලු ලක්ෂණ එම මානසික තත්ත්වයේ අතුරු ප්‍රතිඵලයි. මෙවැනි ගති ලක්ෂණ පෙන්නුම් කරන අය අධ්‍යාපනයට දක්ෂයි. හැබැයි කාන්තාවක සමග පූර්ණ ලිංගික ආශ්වාදයක් වින්දනයක් ලැබීමේ හැකියාවක් නැහැ.

මනෝ වෛද්‍යතුමා සැමියාගේ මව ගෙන්වා ප්‍රශ්න කිරිමේදී කුඩා කළ ඔහුගේ අශ්වාභාවික ලිංගික හැසිරිම් ගැන දැන ගත්තා. ගමේ අය සමග මෙවැනි ගැටුම් ඇතිවූ අවස්ථාවල දරුවා මනෝ වෛද්‍ය සායනයට යොමු නොකර අවවාද කළා. සමාජයට හෙළිවන නිසා මනෝ වෛද්‍ය සායනයකට නොගිය බව වෛද්‍යතුමාට හෙළිකර තිබුණා. විවාහයට පෙර මේ කිසිවක් මා දැන සිටියේ නැහැ. ඔහුගේ මවු-පියන් මේ තත්ත්වය සඟවා ගෙනයි විවාහය සිදුකර තිබෙන්නෙ.

මනෝ වෛද්‍යතුමා සඳහන් කරන්නෙ මෙය අද සමාජයේ පවතින තත්ත්වයක් බවයි. හොඳට ඉගෙනගන හොඳ පවුලක සිටින සමහර ගැහැනු ළමයකුට පිරිමි ළමයකුට මෙවැනි ගති ගුණ තිබෙන විට ඒ අයගෙ විවාහ සිදු කරන්නෙ එම ගති ලක්ෂණ සඟවලා. එවිට අනෙක් පාර්ශ්වයට ලොකු ආසාධාරණයක් සිදුවනවා. අපගේ විවාහය සිදුවුණේ හරියට පොරොන්දම් නැකැත් බලලා. මගේ පැත්තෙ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියෙ නෑ.

විවාහයෙන් පසුව මා සමග ඉඳහිට සිදු වුණත් අසම්පූර්ණ අඹු – සැමි සම්බන්ධයක්. මට උපරිම තෘප්තියක් නොලැබුණාම මම හිතුවෙ ඒ ඔහුගේ ස්වභාවය වෙන්න ඇති කියල. ඔහුට අවශ්‍ය ලිංගික තෘප්තිය ලබා ගැනීමට තමයි සැමියා තම ලිංගික අවයව කාන්තාවන්ට ප්‍රදර්ශනය කරමින් ස්වයං වින්දනයේ යෙදී තිබෙන්නෙ. සාමාන්‍ය තත්ත්වයේ සිටින පිරිමියකුට තම බිරිඳගෙන් ලිංගික තෘප්තියක් නොලැබෙන විට තරහ යන බව මා අසා තිබුණත් මගේ සැමියාට කිසිදා එවැනි තත්ත්වයක් තිබුණෙ නැහැ. ගත වූ මුළු කාලයම මගෙන් කිසිම ලිංගික ඉල්ලීමක් කර තිබුණෙ නැහැ.

සැමියාට එවැනි හැඟීමක් නොතිබුණේ ඔහුට තිබුණ ලිංගික අවවර්තය නිසා බව මනෝ වෛද්‍යතුමා අපට පැහැදිලි කර දුන්නා. මේ තත්ත්වය සමථයට පත් කිරීමට ඔහු ඖෂධීය ප්‍රතිකාරවලට ලක් කිරීමටද සිදුවුණා. සාමාන්‍ය ලිංගික ආශ්වාදය විඳීමේ තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලීන යුවළ සම්බන්ධතා චිකිත්සාවක්ද මනෝ වෛද්‍යතුමා සිදු කළා.

ගැහැනු දරුවන් හෝ පිරිමි දරුවන් අසාමාන්‍ය ලිංගික චර්යාවල යෙදෙනවා නම් එසේ යෙදෙනවිට අනිවාර්යයෙන්ම මනෝ වෛද්‍යමය උපදේශනයක් ප්‍රතිකාරයක් සඳහා යොමු කර ඔවුන් බේරා නොගත්තොත් පොලිසිය- උසාවි ගිහින් ලොකු ලජ්ජාවකට පත්වන බව මනෝ වෛද්‍යතුමා අපට හොඳින් අවබෝධ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: