hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:09



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා 09 වනදා අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ආශිර්වාද තරමටම ගලාගෙන ආව විවේචන රැසක් මැද අවසන් ගමන් ගිය දැවැන්ත රංග පෞරුෂයකි ජැක්සන් ඇන්තනී.

ජැක්සන් මියගියා කියලා ඒ විවේචනවල අඩුවක් නම් නෑ.

ජැක්සන්ගේ වියෝව ගැන කමල් අද්දරආරච්චි පුවත්පතකට අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

කමල්ගේ ආදරණීය සඟයා නික්ම ගොස් අවසානයි. ඒ හැර යාම දුකක්. නමුත් අපි එයට මුහුණ දිය යුතුමයි?

ඔව්. ලොකු දුකක්. නමුත් එක්තරා විදිහකට හිතට සහනයක් කියලා කියන්න පුළුවන්. අවුරුදු එකහමාරකට අාසන්න කාලයක් ජැකා රෝහල් ගතවෙලා ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කළා. ඔහුට වචනයක්වත් කතා කරන්න බැරි වුණත් ඔහු ඇස් ඇරියා. ඔහුගේ ඇස්වලින් කඳුළු ආවා. යම් යම් හැඟීම් ප්‍රකාශ කළා. නමුත් ඒ කරපු හැම දේකින්ම ඔහු යම්කිසි දෙයක් විෙඳව්වා. ඒක වේදනාවක්. ඒ වේදනාවත් එක්ක ඔහුගේ මුහුණ වුණත් වේදනාබරයි. ඒ ගත කරපු වේදනාත්මක කාල පරිච්ඡේදයේදී මිනිසුන්ගේ අවලාද, ගැරහුම්, විවේචන හා මනුෂ්‍යත්වයට නිගා දෙන ප්‍රකාශ මැද්දේ ඒ කාලය නිමා කරලා ඔහු නිදහස් වුණා. ඔහුගේ වේදනාත්මක ජීවිතයෙන් ඔහු නිදහස් වුණා. ඔහුට වක්‍රව හෝ ඍජුව කරපු අපහාසවලට දැන් තවත් ඉඩක් නෑ. ඒ වගේ නිර්දය විදිහට විවේචනය කරන, මනුෂ්‍යත්වය නොහඳුනන සමාජයකට ඔහු නැවත සුවපත් වෙලා ආවත් ඒක වේදනාබර වේවි. ජැකා එහෙම රෝහලින් සුවපත් වෙලා ආවත් ඔහුට ඒක වේදනාබර වේවි. ජැකා එහෙම ආවත් ඔහුට ආබාධිතයෙක් හැටියට එන්නයි බොහෝ ඉඩ තිබුණෙ. එහෙම ආබාධිතව සමාජයකට ඇවිත් ඔහුට මිනිසුන්ගේ කටින් එවැනි අවලාද අහන්න ලැබුණොත් ඔහුට ”මොකටද මම ජීවත් වුණේ කියලා හිතේවි.

බෞද්ධයන් හැටියට ජීවිතයක් නිමා වුණා කියන්නෙ අලුත් ජීවිතයක ආරම්භයක්. භෞතික විද්‍යාවට අනුවත් කිසිම දෙයක් නැති කරන්න බෑ. ඒක වෙනත් දෙයකට පරිවර්තනය වෙනවා. අපි ගිනිකූරක් පිච්චිලා යනකම්ම පත්තු කරගෙන ඉඳලා ගිනිකූර නැතිවුණත් වාතයට එයින් එකතු වන දුම වගේම අළු ටික ඉතිරි වෙනවා. ජැකාගේ ආත්මය දැන් වෙනතකට යනවා. ඒ දුක් විඳපු ශරීරයට තව දුකක් නෑ. ඒ මොනවා වුණත් ජැකා හොඳ පුද්ගලයෙක්. ඔහු කළ දේවල් මෙනෙහි වුණා නම් ඒ ටිකම ඇති ඔහුට නැවත සුගතියක ඉපදෙන්න. මේක තමයි අපේ සංසාරික ගමන. මේක නොනවතින ගමනක්. ජැකාගේ තවත් එක ඉතාම අවාසනාවන්ත කාලයක් නිමා වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: