hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 13, පෙ.ව. 9:55



“පුතා බලාපොරොත්තු වුණේ කොරියාවෙ රැකියාවකට යන්න ඒත් එයා විභාගයට පෙනී සිටියත් ලකුණු පහක් අඩුවෙලා ෆේල් වුණා. ඒකෙ වේදනාවත් එයාට තදින්ම තිබුණා. එයා පෙරේදා මට කිව්වා මහණ වෙන්නත් එක වෙලාවකට හිතෙනවා අම්මෙ කියලා. එයා රස්සාවල් කිහිපයකට ගියා. ඒත් ඒවා එයාට හිතට හරියන විදියට ඉදිරියට කරගෙන යන්න බැරි වුණා. මම හඳහනත් බැලුවා. ඒවායේ කිසිම අගුණයක් කියලා දෙයක් සටහන් වෙලා තිබුණෙ නැහැ. එයාට ලොකු දුකක් තිබුණා පවුලේ වැඩිමලා හින්දා හොඳ රස්සාවක් කරලා පවුල ගොඩ ගන්න පුළුවන් කමක් නෑ කියලා. නිතරම එයා ඒ ගැන හිත හිතා හිටියේ. අපි ගැන එයා පසු තැවුණා. කවදාවත් අපිත් එක්ක රණ්ඩු වෙලා නැහැ. නිතර මෙයා මගේ ඔළුව අත ගානවා. අයියලා මල්ලි තුන්දෙනාම එක වගේ කිසිම වෙනසක් නැහැ. මම නං හිතුවෙ නෑ මගේ පුතා මේ වගේ මම දාල යාවි කියල.”

හොඳ ඉගෙනීමක්, ඉගෙනීමෙන් පසුව රස්සාවක්, රස්සාවක් කරලා ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න, අම්මට තාත්තට සලකන්න, සහෝදර සහෝදරියන්ට උදව් කරන්න ඕන යන හැඟීමෙන් යුතුව කටයුතු කළ තවත් එක තරුණයකු වූ අකුරැස්ස පරදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි කසුන් අංජනගේ හදිසි වියෝව පිළිබඳව ඔහුගේ මව වන තලහිටිගල ලියනගේ රානී මහත්මිය එසේ පැවසුවා.

දිනපතා කුළී වැඩට යන මව සහ පියා නිවසින් පිටව ගොස් තිබූ අතර පාසල් ගොස් පැමිණ සිටි කසුන්ගේ බාල සොහොයුරා දහවල් ආහාරය සඳහා බනිස් ගෙඩියකින් සප්පායම් වී නැවත උපකාරක පංතියක් සඳහා සහභාගිවීමට පිටව ගොස් තිබේ. සවස් කාලයේ අසල්වැසියෙකුගෙන් ලත් තොරතුරක් අනුව කසුන්ගේ මව නිවසට පැමිණ කළ පරීක්ෂාවේදී ඇයට දකින්නට ලැබුණේ සිය පුතු ගෙල වැළලාගෙන කාමරය තුළ සිටින අයුරුයි.

මෙම ගෙල වැළලා ගැනීමට හේතුව සොයද්දී හමුවූ එකම සාක්ෂිය වන්නේ කසුන්ගේ අතින් ලියැවුණු ලිපියකි. එහි සඳහන්ව ඇත්තේ දෙමාපියන් රැක බලා ගැනීමට හරි හමන් රස්සාවක් නොමැති බැවින් ගෙල වැළලාගෙන මිය යන බවයි.

රට තුළ පවතින දරුණු ආර්ථික අර්බුදය තුළ නැගී සිටීමට වෙර දැරීමට ගොස් පිළිතුරු සොයමින් අසරණ වූ කසුන් අංජනලා තවත් කොයිතරම් ඇත්ද?

පුතුගේ වියෝව පිළිබඳව අදහස් දැක්වූ කසුන්ගේ පියා වන සුමතිපාල ජයසිංහ මහතා,

එදා මමත් වැඩ අම්මත් වැඩ අපි දෙන්නම එකම තැන වැඩ කරන්නෙ. උදේ මම තේ හදලා දුන්නා. ඊට පස්සේ එයා නෑව. පස්සෙ මම වැඩට ගියාට පස්සෙ එයාගේ ගෑනු ළමයා මට කෝල් කරලා කිව්වා කසුන් අයියා මෙහෙම දෙයක් කිව්ව පොඩ්ඩක් බලන්න කියලා. පස්සෙ මම අම්මා ගෙදර එව්වා කෝකටත් ගිහිල්ල බලන්න කියලා. ඒ ඇවිල්ලා බලනකොට තමයි කාමරයේ බෙල්ලෙ වැළ දාගෙන ඉන්නව දැකල තියෙන්නෙ. ජපන් විභාගයට ඉස්සෙල්ලම ලිව්වා. ළමයි තිස් පස් දෙනෙකුගෙන් එයා පාස් වුණා. ඒ වුණාට ඒවෙලාවේ යන්න බැරි වුණා කොරෝනා හින්දා. පස්සේ කොරියන් විභාගය ලිව්වා. කොරියන් ධීවර ලිව්වෙ ඉක්මනට යන්න කියලා.

එයා නිතරම කිව්වේ අම්මයි තාත්තයි දුක් විඳිනවා කියලා එයාලා හන්දා. කොහොම වුණත් කොරියන් විභාගය පේල් වුණ හින්දා එයාගේ හිතේ අමාරුවක් තිබුණා. එයා කවදාවත් මගෙන් වත් මල්ලිගෙන්වත් සල්ලි ඉල්ලන්නේ නැහැ. ඒත් අපි පොඩි ගණන් දෙනවා. ඔයාට ජොබ් එකක් නැහැනෙ. කොහොම හරි එයා පන්ති නොගිහින් ෆෝන් එකෙන් බලල තමයි ඉගෙන ගත්තේ. ඒත් එයා ලකුණු සීයක් අරගත්තා. සීයයක් අරගෙන පහක් මදි වුණා කියලා තමයි ඔය හිතේ අමාරුවෙන් හිටියේ.

කසුන් අංජනගේ මෘත දේහය පිළිබඳව පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු 11 වනදා සිදු කළ අතර මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු අකුරැස්ස පොලිසිය මගින් මෙහෙයවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: