hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 12:21



වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිළි මංජුලා කුමාරි පෙරේරාගේ නියෝජිතයෙකු පෙරේදා (22) රාත්‍රියේදී ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලිනාට්‍ය කිහිපයක පොලිස් චරිත සඳහා පෙනී සිටින වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේ පදිංචි එම්. ඩී. එම්. ගුණරත්න බණ්ඩාර නැමැති සහාය නළුවෙකු බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා සඳහන් කළේ.

පතලකින් වංචා කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ද මේ සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරි පෙරේරා යන අය පතල් කැණීම් සඳහා ගිවිසුම් අත්සන්කොට ඇති අතර, ටෙලිනාට්‍ය නිළියගේ නියෝජිතයා ලෙස පතල බලා ගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ සිටි බවත් මාස ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ සියලු දෙනාට ඔහු වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව පවසමින් හැසිරී ඇතැයි පැවසෙනවා.

මෙම ප්‍රසිද්ධ නිළිය සමඟ ගිවිසුම් අත්සන්කොට පතල ක්‍රියාත්මක කළ කාන්තාව ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ මෙම පුද්ගලයා පතලෙන් ලැබුණු නිල් මැණික් ගලක් වංචා සහගතව රැගෙන යෑමට උත්සාහ කරන බවත් එම පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බව කියමින් තමන්ට තර්ජනය කරන බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා පොලිස් කණ්ඩායමක් සමඟ දේවාලදෙණිය ප්‍රදේශයට ගොස් අදාළ සැකකරු මැණික් ගල සහ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ටෙලි නාට්‍ය නිළියගේ සැමියා සමඟ ඇති හිතවත්කම් මත මෙම පතල බලාගැනීම සඳහා ඔහුට පවරා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට පෙර පතලක ආරවුලක් මත පොලිසියට ගෙන්වා තිබුණු බවද එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පවා තමා වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් පොලිසිය නොමඟ යැවූ බව ද පොලිසිය කියයි.

එමෙන්ම පුද්ගලයා ලග්ගල ප්‍රදේශයේ රථවාහන රාජකාරිවල නිරතව සිටින පොලිස් නිලධාරීන්ට තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බව පවසා රථවාහන වැරදිකරුවන් පවා නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරමින් සිටි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන අවස්ථාවේ දී හෙළි වී ඇත්තේ මෙම සැකකරු මීට පෙර පොලිස් නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිට විවිධ අපරාධවලට සම්බන්ධව වාරියපොළ පොලිසියේ සහ කුරුණෑගල පොලිසියේ ඔහුට විරුද්ධව පැමිණිලි සහ අධිකරණවල නඩු ක්‍රියාත්මක වන බවයි.

මෙම පුද්ගලයා ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන මංජුලා කුමාරි මහත්මිය සමඟ ටෙලිනාට්‍ය කිහිපයකම පොලිස් නිලධාරියකුගේ චරිත රඟපා තිබෙන බව පොලිසිය කියයි.

ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියට සහ ඇයගේ සැමියාට අද (24) උදෑසන 9.00ට ලග්ගල පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා යවා තිබෙන බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: