hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 4:51



පසුගිය කොවිඩ් කාලසීමා‌වේ පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිය වෘත්තිය සිදුකිරීමට පෙලඹී ඇති බව අභිමානී කාන්තා එකමුතුව සඳහන් කරනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹදී පැවැති වැඩමුළුවකදීයි.

එම කාලසීමාවේදී තම වෘත්තියේ නියැළීමට ඇතිවූ අපහසුතා හේතුවෙන් සිය වෘත්තීය සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකිරීමට පෙලඹුණු බවත් ඒ සඳහා තම සේවාදායකයන් ඊසි කෑෂ් ක්‍රමවේදය යොදා ගනිමින් ගෙවීම් කටයුතු සිදුකර ඇත.

මේ වන විට සංචරණ සීමා ඉවත්ව ඇති නමුත් තවමත් මෙම ක්‍රමවේදය හරහා වෘත්තියේ යෙදෙන පිරිසක් සිටින බව ඔවුන් පැවසුවා.

එමෙන්ම පසුගිය 2018 වසරේදී සමීක්ෂණයකින් ලබාගෙන ඇති දත්ත අනුව ප්‍රධාන නගරාසන්නව වීදි ගණිකා වෘත්තියේ යෙදෙන තිස්දහසක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර පසුගිය කාලසීමාවේදී මුහුණපෑමට සිදුවූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම වෘත්තියේ නියැළෙන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එම සංවිධානය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම වෘත්තිය නීතිගත නොකිරීම හේතුවෙන් වෘත්තියේ නියැළී සිටින පිරිස මානසික මෙන්ම කායික හිංසනයන්ට ලක්වන අතර ඒ අතරින් පොලිස් අත්අඩංගුවට පත්වීමේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව එම අවස්ථාවට එක්වූ ලිංගික ශ්‍රමික කාන්තාවෝ කියා සිටියා.

පොලිස් අත්අඩංගුවට පත්වීමේදී අනාචාරයේ හැසිරීම යන කරුණ පදනම් කරගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුවුවත් උසාවියට ඉදිරිපත් කිරීමේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම යන වරද ඉදිරිපත් කරන බවත් ඒ හේතුවෙන් විශාල දඩ මුදලකට යටත්වීමට තමන්ට සිදුවන බවත් ඔවුහු පැවසූවා.

තවද මෙම වෘත්තියේ යෙදී සිටින පිරිස් පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ‍ඔවුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීම මැදියම් රැය වනතුරු සිදුකරන බවත් කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැතිව තමන් රඳවා තබාගන්නා බවත් පැවසූ මෙම පිරිස වැඩිදුරටත් සඳහන් කළේ පොලිස් නිලධාරීන්ගේ පහරදීම්වලට මෙන්ම පරුෂ වචනයෙන් බැණවැදීම් වලටද තමන් ලක්වන බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එම අවස්ථාවට එක්වූ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ වීදි ගණිකාවන් ලෙස සමාජය තුළ හඳුන්වනු ලබන ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ වෘත්තිය නීතිගත නොවීම හේතුවෙන් ගැටලු මතුවූවත් පොලිසියට හෝ වෙනත් කිසිදු පුද්ගලයකුට ඔවුන්ට පහරදීමට අයිතියක් නොමැති බවය.

එබැවින් ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් සකසා පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර සුදුසු පියවර ගැනීමට බලාපොරොත්තුවන බව ඇය කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: