hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 20, පෙ.ව. 6:30



ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් විසි දෙකෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් වංචාකර සාවද්‍ය පරිහරණය කළයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ අනියම් ස්වාමිපුරුෂයා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තා සැකකාර තිළිණිගෙන් ලබාගත් රුපියල් කෝටි 08ක මුදලක් ඩොලර් බවට පත්කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළා.

මෙම සැකකාර ඉසුරු බණ්ඩාර නමැත්තා තිළිණි ප්‍රියමාලි නැමත්තිය සභාපතිත්වය දරන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ තිකෝ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කර ඇති අතර එසේ කටයුතු කරමින් සිටිය දී විදෙස් සංචාර අටක් ද ගොස් ඇතැයි අපරාධ  පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සැකකරු රුපියල් ලක්ෂ 300කට අධික වටිනාකමකින් යුත් වාහනයක් විකුණා එම මුදල් ද සිය  පරිහරණයට ගෙන ඇති බවට කරුණු අනාවරණය වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගයන්ගෙන් රුපියල් කෝටි ගණන්  මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘තිකෝ සමුහ ව්‍යාපාරයේ’ හිමිකාරිය වන අංක 35, එඩ්වඩ් ලේන්, ඇවරිවත්ත වත්තල පදිංචි වඩුවාරියගේ තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් වුණා.

කොළඹ විදෙස් මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක හිමිකරුවකු වන අල් හසන් කමල් හසන් නමැත්තා ඉකුත් ජුලි මස 07 වැනිදා කළ පැමිණිල්ලකට අදාළව සැකකාර තිළිණි ප්‍රියමාලිගේ අනියම් ස්වාමිපුරුෂයා බව කියු ඉසුරු බණ්ඩාර යන අය අත්අඩංගුවට ගත් බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

ඇමරිකානු ඩොලර් 60,000ක් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් කිලෝවක් වංචා කිරීමට සැකකාරියට ආධාර අනුබල දුන්නැයි කියන මෙම සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව වංචව අධාර අනුබල දීම සහ සාවද්‍ය පරිහරණය යන වැරදි සිදුකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

මෙම සැකකරු සිය මුහුණු පොතින් සැකකාරිය හඳුනාගෙන ඇති අතර ඉකුත් 2019 වසරේ සිට ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවත්, අවස්ථා ගණනාවකදීම සැකකාර තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග ගනුදෙනු රාශියකට සහභාගී වී ඇති බවට කරුණු අනාවරණය වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

මෙම සැකකරු සන්තකයේ ඇති රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් වාහනයක් පැවරීම, විකිණිම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන  ලෙසට ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීමට  අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.

මෙම සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ මඩුල්ල සඳහන් කර සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් රත්‍රන් ලබාගත් බවට චෝදනා එල්ල කළද ඔහු සන්තකයේ තිබි එවැනි කිසිවක් සොයා ගෙන නොමැති බවයි.

තම සේවාදායකයාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නගන මෙම චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප්පු කරන බවත් මේ කිසිදු සිද්ධියකට ඔහු සම්බන්ධ නැති අතර ඔහුට එරෙහිව කිසිදු පෙර  වැරැද්දක් හෝ වාර්තා වී නොමැති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසත් එම නිතීඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂිවලට අනුව ඔහු සන්තකයේ රත්‍රන් තිබිය යුතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුවෙමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මෙම විමර්ශනය ඉතාමත් සංකීර්ණ විමර්ශනයක් බැවින් සැකකරුට ඇප ලබානොදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම සැකකාර තිළිණි ප්‍රියමාලි නමැත්තිය ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් යැයි පවසමින් රුපියල් මිලියන 226ක් සහ රුපියල් හැත්තෑපන් දහසක මුදලක් ලබාගෙන මුදල් නොමැති ගිණුමකට අදාළ අගරු චෙක්පත් ලබාදුන් බවට සඳහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වූ කොළඹ වන්ගෝල්පෙලෙස්   නිවාස සංකීර්ණයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන අබ්දුල් සාහීර් අතීස් නමැත්තාගේ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: