hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 5:50



මහා පරිමාණ මුදල් වංචාවක යෙදුණු බව කියන තිළිණි ප්‍රියමාලි මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

ඇය මෙලෙස වංචා කළ මුදල රුපියල් කෝටි 350කටද අධිකයි.

ඒ, දැනට ඇයට එරෙහිව ලැබුණු පැමිණිලිවලට අනුවයි.

ඇයට මේ ඉරණම අත්වන්නේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු තිළිණි ප්‍රියමාලිට එරෙහිව සිදුකරනු ලැබූ මුල් පැමිණිලි දෙකක් නිසායි.

තිළිණි එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ තිළිණිගේ ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කොට ඇය එම මුදල්වලට වංචා කළ බව සඳහන් කරමින් ව්‍යාපාරිකයන්, ‍දොස්තරවරුන්, හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු කිහිපදෙනකුම තිළිණිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු කළා.

ඒ අනුව මේ වනවිට තිළිණිට එරෙහිව පැමිණිලි 12ක් රහස් පොලිසියට ලැබී ඇති අතර පැමිණිලිවල සඳහන් ආකාරයට තිළිණි වංචා කළ බව කියන මුළු මුදල රුපියල් කෝටි 350කට අධිකයි.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉහළම මහලක නමට පමණක් අටවාගත් සමූහ සමාගම් කාර්යාලයක් පවත්වාගෙන යමින් වංචාවෙන්ම ජීවත් වූ තිළිණි ප්‍රියමාලිගේ ගැටවලට හමුවී කෝටි ගණන් මුදල් අහිමිකරගත් එම ව්‍යාපාරිකයන් මෙන්ම තවත් බොහෝ අය තාමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිලි නොකලත් ඔවුන් කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම ඉදිරියේදී රටටම හෙළි කර ගනු තිබෙනවා.

ඒ තිළිණිගේ බැංකු ගිණුම්වලට බැරවුණු මුදල් ආ හැටි සොයාගෙන යන විමර්ශනවලින් වගේම ඇගේ කාර්යාලයේ පරිගණක පද්ධතියෙන් පවා ඒ දේවල් රැසක්ම හෙළි වෙමින් ඇති බැවින්.

එය එසේ වූවත් තිළිණි ප්‍රියමාලිගේ මෙම වංචාවට අදාළ බොහෝ රහස් සැඟවී තිබුණු දෘඩ තැටි 05ක් නම් මේ වන විට ඇත්තේ අතුරුදන්වයි.

එම දෘඩ තැටි අතුරුදන් වෙන්නේ තිළිණි ප්‍රිමාලි අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇගේ කාර්යාල සංකීර්ණයේ පැවති පරිගණක උපාංග අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සිය භාරයට ගැනීමට ගතවූ දින කිහිපයේ ප්‍රමාදය හේතුවෙන්.

බොහෝ රහස් සැඟවී ඇති එම දෘඩ තැටි සොරා ගැනීමට ලක්ව ඇතැයි විශ්වාස කරන්නෙ තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුවයි.

එම දෘඩ තැටි අතුරුදන් වෙන්නේ ඇය බන්ධනාගාරය තුළ සිටිමින් කළ මෙහෙයුමකට අනුව බවට සැකයක්ද පවතිනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට හෙළි කරගෙන ඇති ආකාරයට අනුව ඇය බන්ධනාගාර ගතවූ මුල් දින කිහිපය තුල ජංගම දුරකතන තුනක් භාවිත කර ඇත්තේ.

ඒ එක් ජංගම දුරකතනයකින් ඇය ඇමතුමක් දී ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ ඇය යටතේ සේවය කළ අධ්‍යක්ෂකවරයකුටයි. සේවකයකුටයි.

එම දුරකතන ඇමතුම ගැන එම අධ්‍යක්ෂකවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා ඇත්තේ තිළිණි ප්‍රියමාලි දුරකතන අංක කිහිපයක් තමාගෙන් එම ඇමතුම දෙමින් ඉල්ලා සිටි බවයි.

ඇය එසේ එම අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා ගත් දුරකතන අංක කිහිපය දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුවය.

ඇය සිය සමාගම් අධ්‍යක්ෂකවරයකුට ඇමතුමක් ගත්තේ දුරකතන 03න් එකකිනි. එම දුරකතන 03න් ඇමතුම් ඇය විසින් ලබා ගෙන ඇති ඇමැතුම් ගණන 22ක්.

එම ඇමතුම් 22ක ඇය ලබාගෙන ඇත්තේද දුරකතන අංක 11කටයි.

ඒ අයගෙන් එක් අයකුට ඇය ඇමතුමක් දෙමින් ඉල්ලා ඇත්තේ ඇප ලබා ගැනීමට නීතීඥ සහය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 300ක මුදලක් ලබා දෙන ලෙසයි.

එම පුද්ගලයා කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තාමත් එළියට නොදමන්නේ එම තැනැත්තා මේ වන විට වැදගත් සාක්ෂියක් බවට පත්ව සිටින බැවිනි.

ඇය හිර ගෙදර සිට ලබාගත් ඇමතුම් විශ්ලේෂණය කිරීමේදීද පෙනී යන්නේ ඇය හිරේ ඉඳන් පවා ඇමතුම් ලබා ගෙන ඇත්තේ එසේ මෙසේ පුද්ගලයන්ට නොවන බවයි.

ඒ අතර තමාට හිතවත් ඉහළ සමාජයේ කතක් සමඟද හිරේ සිට සිය නිදහස වෙනුවෙන් ඇය අදහස් හුවමාරු කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීහූ දැන් හොඳාකාරවම දැන සිටිනවා.

තිළිණි ප්‍රියමාලිගේ පසුපස සිටි හයියක් වූ ඇය සම්බන්ධයෙන්ද යම් විමර්ශනයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවත්වමින් සිටින්නේ නීතිය හමුවට ඇයවද රැගෙන ඒමේ සූදානමිනි.

මෙම විමර්ශනයට තවමත් කිසිදු ආකාරයකින් බලපෑමක් එල්ලවී නැත.

ඒ කුමන බලපෑමක් පැමිණියත් විමර්ශන හරි මඟ රැගෙන යාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටින්නේ දැඩි අධිෂ්ඨානයකින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: