hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 10, පෙ.ව. 8:20



මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදුකළ බවට සැකකරන ගංජා ජාවාරම, නිධන් හෑරීම ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මොනරාගල බලා ඊයේ (09) උදෑසන ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය භාරයට ගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පැවසුවා.

මෙම ජාවාරම් සඳහා සැකකරුවන්ට ප්‍රදේශයේ එක්තරා ප්‍රබලම දේශපාලනඥයකුගේ සහාය ලැබී ඇති බවද වාර්තා වෙනවා.

මොනරාගල පිහිටි සිය නිලනිවසේ සිවිලිමේ සඟවා තිබූ ගංජා කිලෝ 15 ක් සමග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර ඇතුළු පුද්ගලයන් 06 දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ අලුයම් කාලයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අමතරව ඔහුගේ පොලිස් රියැදුරු, කොළඹින් ගිය ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ නිධන් හෑරීමට දක්‍ෂ පුද්ගලයකු සිටි බව පොලිසිය පැවසුවා.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු සැකකරුවන් නිධන් හෑරීමට යොදාගත් බවට සැකකරන ස්කෑන් යන්ත්‍රයක්ද මොනරාගල ප්‍රදේශයේ සඟවා තිබියදී විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන තිබෙනවා.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් ප්‍රදේශයේ නිධන් හෑරීමේ යෙදෙන බවට ලැබී තිබූ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මීට මාස කීපයකට පෙර සිටයි.

නිධන් හෑරීමට යොදාගන්නා ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යන බවට ලැබුණු තොරතුරක් මත විශේෂකාර්ය බළකායේ නිලධාරීන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගමන්ගත් ජීප් රථය සිය භාරයට ගෙන පරීක්‍ෂා කර තිබෙනවා.

එහිදී ජීප් රථයේ සිටි සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ හිතවතුන් සිව්දෙනකු සහ රියැදුරු එස් ටී එෆ් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාරට අයත් මොනරාගල නිල නිවස පරීක්‍ෂා කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි සිවිලිමේ සඟවා තිබූ ගංජා ගස් 550 ක් සොයාගෙන තිබුණා.

කිලෝග්‍රෑම් 15 ක බරින් යුත් මෙම ගංජා තොගය වේලීම සඳහා සිවිලිමේ සැඟවූ බව පසුව හෙළිවී තිබෙනවා.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් හෙළිවූ තොරතුරු මත නිධන් හෑරීමට යොදාගන්නා ස්කෑන් යන්ත්‍රයක්ද, බඩල්කුඹුර ප්‍රදේශයෙන් පසුව සොයා ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වී තිබුණා.

විමර්ශනවලින් හෙළිවූ අන්දමට සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කාලයක සිට ගංජා අලෙවි කිරීමේ ජාවාරමේ නිතර වී තිබෙන බව හෙළි වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මොනරාගල බලා පිටත්ව ගොස් තිබුණා.

ඒ අනුව

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: