hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 27, පෙ.ව. 5:42



පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය ජනනය කර ජාතික පද්ධතියට ලබා දෙන පිරිසට ඉකුත් මාස අට වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 28ක් ගෙවිය යුතුව ඇතැයි සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමය පැවසුවා.

වහල මත සූර්ය පැනල ඉදිකර විදුලිය ලබා දෙන්නන්ට, සුළං බලයෙන් විදුලිය සපයා දෙන්නන්ට, කුඩා ජල විදුලි බලාගාරවලින් විදුලිය සපයන්නන්ට හා මධ්‍ය පරිමාණ ජල විදුලි බලාගාරවලින් විදුලිය සපයන්නන්ට මෙම මුදල් ගෙවීමට ඇතැයි කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

වර්තමානයේ සූර්යබල උත්පාදකයන්ට ගෙවන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් එය යම් ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු බවත් ඒ මහතා කියා සිටියා.

වර්තමාන විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා සූර්යබල සංග්‍රාමය සැබෑ සංග්‍රාමයක් බවට පත්කිරීමට අඛණ්ඩ උත්සාහයක් තම සංගමයේ සාමාජිකත්වය විසින් දැරූ නමුත් ඒ පිළිබඳ බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවූ බවත්, එසේ යොමු වූයේ නම් විදුලි කප්පාදුව මීට වඩා ඉතාමත් සීමිත කාලයක් කරගත හැකිව තිබූ බවත් ඔහු පැවසුවා.

විශේෂයෙන් සූර්යබල පද්ධති ජාතික පද්ධතියට එක් කිරීමට රජයේ ප්‍රතිපාදන වැය නොවෙන බව කී ඔහු ආයෝජන මුදල විදුලි පාරිභෝගිකයා විසින් දරනු ලබන බවත්, මේ වනවිටත් එසේ සූර්ය පැනල මගින් විදුලිබල නිෂ්පාදකයන් බවට පත්වූ විදුලි පාරිභෝගිකයන් විසින් මෙගාවොට් 600ක් පමණ ජාතික පද්ධතියට එකතු කරන බව ද ලේකම්වරයා පවසා සිටියා.

එහෙත් සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව හැටපන් ලක්ෂයක් වුවත්, වහල මත සූර්ය පැනල සවිකර විදුලිබල නිෂ්පාදකයන් වී සිටන පාරිභෝගිකයන් සංඛ්‍යාව 40,000ක් තරම් අඩු බවත්, විදුලි පාරිභෝගිකයන් හැටපන් ලක්ෂයෙන් සියයට විස්සක් සූර්ය පැනල හිමියන් බවට පත් කළහොත් විදුලි ජනනයට දායක වන පාරිභෝගික සංඛ්‍යාව දශ ලක්ෂයක් තරම් ඉහළ යන බවත්, එයින් එක් විදුලි පාරිභෝගිකයෙක් කිලෝවොට් 3ක සූර්ය කෝෂ පද්ධතියක් සවි කළහොත් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 3,000ක් එකතු වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: