hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 9:34



බන්ධනාගාර ආයතනවල සපයන ආහාර ප්‍රමිතියෙන් තොර බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවා.

පණුවන් සිටින මාළු හෝ දහඩිය, සෙම්, සොටු සමඟ ආහාර පිසීම කිසිදු අවස්ථාවක සිදු නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව අවධාරණය කරන චන්දන ඒකනායක මහතා පවසන්නේ බන්ධනාගාර ආයතනවලට අනුයුක්තව සිටින මහජන පරීක්ෂකවරුන් හා වෛද්‍යවරුන් අවශ්‍ය අවස්ථාවලදී පරීක්ෂා කිරීම් සිදු කර ආහාර බන්ධනාගාර වෙත නිකුත් කරන බවයි.

ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය තිබී හඳුනා ගතහොත් ඔවුන්ගේ ඒවා බන්ධනාගාර තුළට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සිදු කරන බවද ඒකනායක මහතා සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ, සැපයුම්කරුවන් සපයන ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර දොරටුවේදී පරීක්ෂා කර බන්ධනාගාර මුළුතැන්ගෙට භාර දීමෙන් අනතුරුව ඒවා පිරිසිදු කිරීමේ සිට ආහාර පිසීම අවසන් කර රැඳවුවන් අතරේ බෙදාහැර අවසන් කරන තුරුම සියලු කටයුතු බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන්නේ රැඳවූවන් වීම නිසා තම ආහාරවේලට සෙම් සොටු මිශ්‍ර කර ගනු ඇතැයි තමන් නොසාතන බවයි.ඔවුනට ඒ වා සකස් කිරීමට අවශ්‍ය ඒප්‍රන් හිසි වැස්ම ආදියද ගබා දී සෞඛ්‍ය ආරක්ඹතව මෙම ආහාර පිසින බවට සහතික විය හැකි බවද කොමසාරිස් වරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ප්‍රමිතියෙන් තොර කිසියම් ආහාර ද්‍රව්‍යයක් ඇත්නම් ආහාර පිසීම සිදු කරන රැඳවූවන් ඇතුළු සියලු රැවූවන්ට ඊට විරෝධතාව දැක්වීම සිදු වන අතර වසරකට බන්ධනාගාරවලට සිරකරුවන් ලක්ෂ ගණනක් බන්ධනාගාර වෙත යන එන බවත් මේ දක්වා එවැනි ගැටලුවක් පැන නැගී නොමැති බවත් ඔහු කියා සිටියා.

සකස් කළ ආහාර වේලෙන් පළමු සාම්පලය බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාට පරික්ෂා කිරීම සඳහා ඉදිරිපත් කරන බවත් එම පරික්ෂාවෙන් පසුව එවැනි ගැටලුවක් තිබුණහොත් රැඳවියන් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට, ප්‍රධාන ජේලර්වරයාට හෝ බලධාරීන් දැනුවත් කරන බව ඒකනායක මහතා පැවසුවා.

ඒකනායක මහතා වැඩිදුරටත් පැවැසුවේ , රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරගතව සිටි වසර එකහමාරක කාලය තුළ ආහාරවල තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට පැමිණිලි කර නොමැති බවයි.

“මගේ බන්ධනාගාර සේවා කාලය වසර 37යි. මගේ සේවා කාලය තුළ මම එක ම දවසකවත් පූසෙක් වැටිලා තියෙන පරිප්පු එකක්වත්, හොද්දක්වත් දැකලා නැහැ, අහලා නැහැ,” යනුවෙන් ද ඒකනායක මහතා කියයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනාය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාර ආයතනවලට ආහාර ද්‍රව්‍ය සැපයුම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීම ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා සිදු කරන අතර එම ආයතනවලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමිතීන්ට අනුකූලව දිනපතා සැපයීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත වී ඇති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පසුගියදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ, බන්ධනාගාරවල පරිභෝජනයට නුසුදුසු ආහාර සිරකරුවන් වෙත ලබා දෙන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ පළ කළේ මෙවැන්නක්,

“හිර ගෙදර සප්ලයර්ස්ලාට පොලු තියලා ඒගොල්ලෝ දැන් සප්ලයි නවත්ත්වලා තියෙන්නේ. කෝටි 50, 60 පොලු තියලා. එතකොට දැන් ගේන්නේ, මේක කිව්වට කමක් නැහැ. මාළු එක අරන් එද්දී පණුවෝ වැටෙනවා. පණුවෝ වැටෙනවා. පණුවෝ අරන් දාලා මෙහෙම කැපුවා, උණුවතුර දැම්මා, මිරිස් ටිකක් දැම්මා, කන්න දුන්නා. එතකොට බත් එක හදන්නේ කුඩු කාරයෝ තමයි හදන්නේ. දාඩිය, සෙම, සොටු සේරම වැටෙනවා බත් එකේ. ඒවා තමයි මෙහෙම කරලා දෙන්නේ.

පාලිත තෙවරප්පෙරුම කිව්වා කළුතර දිගට ම වාට්ටු 6ක් තිබුණා. පරිප්පු එක අරන් ගියා. පරිප්පු එක අන්තිමට වාට්ටු 4කට බෙදුවා. ඉන්න හිරකාරයෝ ටික කෑගැහුවා ටිකක් පරිප්පු යටින් අරන් දෙන්න කියලා. මෙහෙම යටින් ගද්දි තඩි පූසෙක් ආවා. පරිප්පු එකේ. මේක උඩින් පනින්න ගිහිල්ලා වැටිලා. අර වාට්ටු හතර ම කාලා තියෙන්නේ පූස් හොදි. පස්සේ ඒක ඒ ගොල්ලන්ට කිව්වා ම වමනේ දාල තිබුණා.

බිත්තර ගද්දී බොහොමයක් බිත්තර ඇතුළ කුණු වෙලා. එතකොට මාළු කාපුවාම ඇස්වල ගෙඩි දානවා, කට වන වෙනවා. බොහෝ දෙනෙක් ලෙඩ වෙලා ඉන්නේ. පව් ඒක ඉතින්. බොහෝ ම භයානක තත්ත්වයක් හිර ගෙදර තියෙන්නේ. මොකද එළියේ අය හිතවා එළියේ අයට වඩා හිරගේ හොඳයි කියලා. නමුත් ඇත්ත වශයෙන් ම හිර ගෙදර කෑම තත්ත්වේ බලන්න හිරේ යන්න ම ඕනා. ඒ කියන්නේ කන්න ම බෑ. පෙළක් අය කන්නේ ම නෑ. ලෙඩ හැදෙන්න තෝතැන්නක් ඒක. ඒ කියන්නනේ කිසි ම රහක් නෑ. මොක ද බිල් ගෙවලා නැති හින්දා සප්ලයර්ස්ලා දෙන්නේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: