hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 3:09



අනාගතයේ දී මෙරට මහළු ප්‍රජාවට තනිව ජීවත්වීමට සිදු වනු ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලය විසින් සිදු කළ නවමතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඒ, මෙරට සිටින තරුණ ප්‍රජාවගෙන් වැඩි පිරිසක් විදේශ ගත වීම හේතුවෙන්.

අවුරුදු 18 සිට 25 දක්වා වන වයස් කාණ්ඩවල සිටි තරුණ ප්‍රජාවගෙන් සියයට 80ක ප්‍රමාණයක් විදේශ ගත වනවා.

අවුරුදු 25 සිට 36 දක්වා වන කාණ්ඩවල සිටින අයගෙන් විදේශ ගත වන ප්‍රමාණය සියයට 70ක්.

ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින් 2,946ක් සහ විදේශගත සිටින පුද්ගලයින් 665 දෙනෙකු යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

ඉන් සියයට 58ක් සහ සියයට 42ක් කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු 26 සිට 35 වයස් කාණ්ඩ නියෝජනය කරන අය වන බව සඳහන්.

මේ අතර මෙරටින් විදේශගත වූ බුද්ධිමතුන් විශාල පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අතර ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් සිටින බවයි වාර්තා වන්නේ.

සිය වෘත්තීයට ගැළපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවීම ඊට හේතුව වන බව සඳහන්.

කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශීයන්හි එම ක්ෂේත්‍රයට අදාල රැකියාවන්හි නිරතව සිටින බවට තොරතුරු වාර්තා වනවා.

රටේ ආර්ථික තත්වය හේතුවෙන් ඇතිවූ පීඩා සමනය කරගැනීම සඳහ බොහෝ පිරිසක් පසුගිය කාලයේ දී විදේශ ගත වුණා.

මේ අතර මෙරට විවිධ වෘත්තීකයන් 50,000කට වැඩි පිරිසක් මේ වනවිට විදේශ ගත වී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස වෘත්තිකයන්ගේ විදේශගත වීම් අධික වී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තියෙන් අනතුරුව බව සඳහන්.

විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලට ගොස් ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: