hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 13, ප.ව. 1:32



සියලුම රජයේ නිලධාරීන්ගේ වැටුප්, දීමනා සහ ගමන් වියදම් දැඩි ලෙස සීමා කරමින් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයට අනුව මාසික අතිකාලවල එකතුව මූලික වැටුප නොඉක්මවිය යුතු වන අතර අතිකාල දීමනා නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් සඳහා වෙන් කර ඇති මුදල්වලට අමතරව මුදල් වෙන් නොකෙරේ.

අදාළ ආයතනය මගින් පූර්ණ පිරිවැය දරන්නේ නම් මිස විදේශ අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ හෝ සංචාර සඳහා නිලධාරීන් සහභාගි නොකළ යුතු බවද විදේශීයය ණය මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල අරමුදල් වියදම් කර විදේශ සංචාර සඳහා නිලධාරීන් නොයැවිය යුතු බවද සඳහන් වන එම චක්‍ර ලේඛයේ කාර්ය මණ්ඩල පුහුණු සඳහා දේශීය රාජ්‍ය ආයතන වෙත පමණක් නිලධාරීන් යොමු කළ යුතු බවත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හැකි සෑම විටම මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ පුහුණු සැසි පැවැත්විය යුතු වන අතර නිලධාරියා පෞද්ගලිකව පෙනී සිටිය යුතු අවස්ථාවන් හි පමණක් කැඳවීම් කළ යුතු වෙයි.

ඉන්ධන වියදම් පාලනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එමගින් දැනුම් දී තිබෙනවා.

අනුමත නිල වාහන හිමිකම අනුව එක් වාහනයක් පමණක් භාවිත කළ යුතු වන අතර නිල වාහන හිමිකම වෙනුවට මාසික ප්‍රවාහන දීමනාව ලබා ගන්නා නිලධාරීන් කිසිදු අවස්ථාවක සංචිත වාහන භාවිත නොකළ යුතු බවත් භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියකින් තොරව මාසික කුලී පදනම මත හෝ මෙහෙයුම් කල්බදු පදනම මත වාහන ලබා​ නොගත යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන්.

එමෙන්ම දැනටමත් ලැබෙන සහනදායී දුම්රිය හා මාර්ගස්ථ ප්‍රවාහනවාර ප්‍රවේශ පත්‍ර හිමිකමට සහ ප්‍රවාහන පහසුකම්වලට අමතරව සාමාන්‍ය රාජකාරි සඳහා පැමිණීමට මෙන්ම ආපසු යාමටද වෙනත් ප්‍රවාහන පහසුකම් සඳහා රජයේ මුදල් භාවිත නොකළ යුතු යැයිද රජයේ මුදල් භාවිත කරමින් දිනපොත්, සටහන් පොත්, කැලැන්ඩර්, ආරාධනා පත්‍ර හා සුබපැතුම් පත් මුද්‍රණය නොකළ යුතු යැයිද එහි සඳහන්ව තිබෙනවා.

විධිමත් අනුමැතියකින් තොරව සෘජු විදේශ ප්‍රදාන රාජ්‍ය ආයතන වෙත ලබා​ නොගැනීම ද හදිසි මිල දී ගැනීම් සිදු නොවන පරිදි අවශ්‍යතා කලින් හඳුනා ගැනීමද චක්‍රලේඛ විධිවිධාන අතර වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: